Ultimate magazine theme for WordPress.

ලකුණු ප්‍රතිශත ක්‍රමවේදය සංශෝදනයක් සහිතව ඉදිරියටත් – ICC

2021 වසරේ සිට 2023 වසර දක්වා පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර සදහා ද ප්‍රතිශත ලකුණු ක්‍රමවේදය යොදා ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ලකුණු පිරිනැමීමේ ක්‍රමවේදයේ යම් සංශෝදනයක් සිදු කිරීමටයි අයි.සී.සීයේ අවධානය යොමුව ඇත්තේ.

2019 වසරේ සිට 2021 දක්වා පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ දී සෑම තරගාවලියක් සදහාම ලබා දුන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 120ක්.

පළමු අදියරේ පැවැති ප්‍රධාන ගැටලුවක් වූයේ විවිධ කණ්ඩායම් විවිධ තරග ප්‍රමාණයන්ගෙන් යුත් තරගාවලි ක්‍රීඩා කිරීමයි.

ඇතැම් කණ්ඩායම් තරග 5කින් යුත් තරගාවලි ක්‍රීඩා කරන අතරතුර දී තවත් කණ්ඩායම් තරග 2 බැගින් යුත් තරගාවලි ක්‍රීඩා කිරීම සිදු වුණා.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේ තරග ප්‍රමාණය කුමක් වුවත්, තරගාවලියකට ලකුණු 120ක් ලබා ගත හැකි අයුරින් ඊට සරිලන පරිදි එක් ටෙස්ට් තරගයට හිමි වන ලකුණු ප්‍රමාණය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියකදී එක් ජයක් වෙනුවෙන් ලකුණු 60ක් හිමි වූ අතර, තරග 5කින් යුත් තරගාවලියක එක් ජයක් වෙනුවෙන් හිමි වූ ලකුණු ප්‍රමාණය 24ක්.

තරග 3කින් යුත් තරගාවලියක එක් තරගයකට ලකුණු 40ක් ද, තරග 4කින් යුත් තරගාවලියක එක් තරගයකට ලකුණු 30ක් ද හිමි වුණා.

කෙසේ වෙතත්, 2021 වසරේ සිට පැවැත්වෙන දෙවන අදියරේ තරගාවලිය වෙනුවෙන් ටෙස්ට් තරගාවලියකට තරග කොපමණ ප්‍රමාණයක් ඇතුළත් වුව ද තරගයකට ලබා දෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය සමාන අගයක් ගනු ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ.

ඒ අනුව 2021-23 කාලයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවට අදාළව ලබා ඇති ප්‍රසාද ලකුණු මත පදනම්ව ප්‍රතිශතය සකස් කර ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන තීරණය කරනු ඇති.

ප්‍රතිශත ක්‍රමවේදය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව රටවල් රැසකටම අහිමි වීම හේතුවෙන්.

2019-21 අදියරේ දී ලකුණු ප්‍රතිශතය සකස් කරනු ලැබුවේ ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කර ඇති තරගාවලි ප්‍රමාණය අනුව ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව, ඔවුන් ලබා ගැනීමේ අරමුණින් තරග කර ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් බෙදා සියයෙන් ගුණ කිරීමෙනුයි.

උදාහරණයක් වශයෙන් යම් කණ්ඩායමක් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජයගතහොත් එම කණ්ඩායමට එක් ජයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 40 බැගින් ප්‍රසාද ලකුණු 80ක්, තරග දෙකේ ජයග්‍රහන වෙනුවෙන් හිමි වනවා.

කෙසේ වෙතත්, තරගාවලියකට ප්‍රසාද ලකුණු 120ක් ලබා ගැනීමේ හැකියාව කණ්ඩායමකට පවතින බැවින් ප්‍රතිශත ලකුණු ක්‍රමවේදය අනුව අදාළ කණ්ඩායමට හිමි ලකුණු ප්‍රතිශතය තීරණය වුණේ 80/120 x 100 යන ආකාරයෙනුයි.

Leave a comment