Ultimate magazine theme for WordPress.

ප්‍රතිශත ක්‍රමවේදයට ICC අනුමැතිය – ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමි නවතම තැන මෙන්න

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන තෝරන ක්‍රමවේදයේ සංශෝදනයක් සිදු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(19) තහවුරු කර සිටියා.

ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කරන තරග සංඛ්‍යාව තුළ දී ලබා ගන්නා ලකුණු ප්‍රතිශතය මත පදනම්ව අවසන් තරගයට කණ්ඩායම් තෝරා ගැනීම සිදු වනු ඇති.

කොරෝනා වංසගතය හේතුවෙන් තරග රැසක් කල් දැමීමට සිදුවීම ඊට හේතුවයි.

ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ, ශ්‍රී ලංකා – එංගලන්ත, නවසීලන්ත – බංග්ලාදේශ, පාකිස්තාන – බංග්ලාදේශ (තරගාවලියෙන් එක් තරගයක් පමණක්), ශ්‍රී ලංකා – බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා යන ටෙස්ට් තරගාවලි කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ක්‍රීඩා කිරීමට හැකි වී නැහැ.

ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ලබා ගන්නා ලකුණු ප්‍රතිශතය අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක 2019/21 තරගවාරයට අයත් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන පරිදි ප්‍රසාද ලකුණු ක්‍රමවේදයට සංශෝදනයක් ගෙන ඒමටයි අනිල් කුම්බ්ලේ සභාපතිත්වය දරන අයි.සී.සී ක්‍රිකට් කමිටුව නිර්දේශ කර තිබුණේ.

ඒ සදහා මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2019/21 තරග වාරය නිමා වන විට (2021 වසරේ මාර්තු වන විට) ක්‍රීඩා කිරීමට නියමිතව ඇති තරග ප්‍රමාණයෙන් 85%ක් හෝ ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි අයි.සී.සීය අපේක්ෂා කරන්නේ.

ලකුණු ප්‍රතිශතය සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඔවුන් තරග කර ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් බෙදා සියයෙන් ගුණ කිරීමෙනුයි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් ඉදිරියෙන් පසුවූ නමුත්, සිදු කෙරුණු නව සංශෝදනය අනුව ලකුණු ප්‍රතිශතය අතින් මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 360ක් ලබා ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 480ක් ලබා ගැනීම වෙනුවෙන් තරග වදිමින්.(360/480 x 100)

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 360ක් ලබා ගැනීම සදහා තරග කර ඇති අතර, ඔවුන් ඉන් ප්‍රසාද ලකුණු 296ක් හිමි කර ගත්තා. (296/360 x 100)

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ලකුණු ප්‍රතිශතය මේ වන විට 82.2%ක් ලෙස දැක්වෙන අතර, ඉන්දියාවේ ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ 75%ක් ලෙසයි.

මීට පෙර 6 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට ලකුණු ප්‍රතිශතය මත ද හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයමයි. (80/240 x100)

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සෑම තරගාවලියක් සදහාම ලබා දෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 120ක්.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලබන වසරේ ජූනි මාසයේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

නවතම ප්‍රසාද ලකුණු (ප්‍රතිශත) සටහන පහතින් –

ICC
Leave a comment