Ultimate magazine theme for WordPress.

ICC තරගාවලියන්ට අදාළ ආකෘති නිවේදනය කෙරේ; 20යි 20ට 5 බැගින් කාණ්ඩ 4ක්

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන්හි ආකෘති ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් (අයි.සී.සී) නිවේදනය කර තිබෙනවා.

අප මීට පෙර වාර්තා කළ පරිදි සෑම සෑම වසරකම අයි.සී.සී තරගාවලියක් අදාළ කාලයේ දී (2024-2031) පැවැත්වීමට අගහරුවාදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී තීරණය කෙරුණු අතර, ලෝක කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ද ඉහළ නැංවීමටයි තීරණය කෙරුණේ.

  • එක්දින ලෝක කුසලානය (පන්දුවාර 50)

ඒ අනුව රටවල් 14කගේ සහභාගීත්වයෙන් 2027 සහ 2031 වසරවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකේ තරග ආකෘතියට අනුව මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

එක් කාණ්ඩයකට කණ්ඩායම් 7ක් ඇතුළත් කෙරෙන අතර, එම කාණ්ඩ දෙකේ ඉදිරියෙන්ම පසුවන රටවල් 3 සුපිරි 6 දෙනාගේ වටය සදහා සුදුසුකම් ලබනු ඇති.

අනතුරුව අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

2003 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය සදහා ද යොදා ගනු ලැබුවේ මෙම ආකෘතියයි.

ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වන සමස්ත තරග සංඛ්‍යාව 54ක් බවයි අයි.සී.සීය සදහන් කළේ.

  • 20යි 20 ලෝක කුසලානය

රටවල් 20ක් දක්වා ඉහළ නංවා ඇති 20යි 20 ලෝක කුසලාන තරගාවලි අප මීට පෙර වාර්තා කළ පරිදි 2024, 2026, 2028 සහ 2030 යන වසරවලදී පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියකට අදාළ ආකෘතියට අනුව මූලික වටයේ දී කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙනවා.

එක් කාණ්ඩයකට රටවල් 5 බැගින් ඇතුළත් කෙරෙන අතර, සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් සුපිරි 8 වටය  සදහා සුදුසුකම් ලබනු ඇති.

අනතුරුව අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය පවත්වා ශූරයින් තෝරා ගැනීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා පැවැත්වෙන තරග සංඛ්‍යාව 55ක්.

  • ශූරයින්ගේ කුසලානය

2017 වසරේ අවසන් වරට පැවැති ශූරයින්ගේ කුසලාන තරගාවලිය යළි නොපැවැත්වීමේ තීරණයක ජගත් ක්‍රිකට් කවුන්සලය මීට පෙර පසුවුවද 2024-2031 තරග කාලසටහනට ශූරයින්ගේ කුසලාන තරගාවලි 2ක් ඇතුළත් කිරීමටයි අයි.සී.සීය තීරණය කර ඇත්තේ.

ඒ අනුව 2025 හා 2029 වසරවලදී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ශුරයින්ගේ කුසලාන තරගාවලි මීට පෙර පැවැති ආකාරයට සමාන ආකෘතියකින් පැවැත්වෙන්නේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ සංවිධාන කරමින්.

රටවල් 8ක් තරගාවලියට එක් වන අතර, එක් කාණ්ඩයකට රටවල් 4 බැගින් ඇතුළත්.

අනතුරුව අවසන් පූර්ව තරග සහ අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

ශුරයින්ගේ කුසලාන තරගාවලියකට අදාළව පැවැත්වෙන තරග සංඛ්‍යාව 15ක්.

ALSO READ : මෙවර T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඕමානයට? ඉන්දියාවේ ඉල්ලීමටත් අවසර

Leave a comment