Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට ලකුණු 49ක ජයග්‍රාහී ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 49ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.

ඒ, තරගයේ දෙවන දිනය වන අද (25) දිනයේ දී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 81කට සීමා වීමත් සමගයි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් බෙන් ස්ටොක්ස් ලකුණු 25ක් සහ නායක ජෝ රූට් ලකුණු 19ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 32කට කඩුලු 5ක් බිද හෙලූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තා.

අද දිනයේ දී අශ්වින් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 145කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

රෝහිට් ෂර්මා ලකුණු 66ක් ලබා ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 27කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ නායක ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් බිද හෙලූ අතර, එලෙස ඔහු විසින් කඩුලු 5ක් දවා ගනු ලැබුවේ සිය ටෙස්ට් දිවියේ පළමු වරටයි.

ජැක් ලීච් කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අහ්මදාබාද්හී දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 53ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලුවා.

Leave a comment