Ultimate magazine theme for WordPress.

“හෘදසාක්ෂියට එකඟව ක්‍රිකට් පරිපාලනයේ රැඳිසිටිය නොහැකියි” – මතිවානන්

හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැඳිසිටිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා පවසනවා.

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

මාධ්‍ය නිවේදනය පහතින් –

“මෙරට දෙවැනි පැරණිතම විද්‍යාලය වන යාපනය පොයින්ට් පේදුරුහි හාට්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මා හට දෙවන ලුතිනන්වරයෙකු ලෙස හමුදාවට එක්වීමේ අභිලාෂයක් තිබූ අතර, මා කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද, එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා කොළඹට පැමිණි අතීතය මට තවමත් පැහැදිලිව මතකය.
හාට්ලි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රිකට් ලෝකයට අත්පොත් තැබූ මා යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායමට සුදුසුකම් ලබමින් ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ දක්ෂතා මුවහත් කරගැනීමට භාග්‍යය හිමි කරගතිමි. මේ අතර සරා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමද මගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී කඩඉමකි.
ඉතා දුෂ්කර වූ වෘත්තීයමය ජීවිතයකින් අනතුරව මෙරට ප්‍රමුඛපෙළ ආයතනයක හිමිකාරිත්වය දක්වාම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රසාදයක් හිමිකරගත් මා රංගන හේරත්ගේ පටන් ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් යුගය දක්වා මගේ ව්‍යාපාරයේ රැකියා අවස්ථා ලබාදුන් ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයින්ද විය.
2000 සිට 2013 දක්වා වසර 13ක් කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස ක්‍රීඩා සමාජය ගොඩ නැගීමටත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මා සිදු කළ මෙහෙය පිළිබඳ මුළු මහත් ක්‍රිකට් ප්‍රජාවටම නොරහසකි.
2005දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රිකට් පරිපාලන කටයුතු ආරම්භ කරන මා 2006 සිට 2008 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම් ලෙසත්, 2012 සිට 2013 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ලෙසත් කටයුතු කළෙමි. 2016 ජනවාරි සිට 2018 මැයි දක්වා යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය දැරූ මා 2019 පෙබරවාරි මස ක්‍රිකට් පරිපාලනයේ නැවතත් උපසභාපති ලෙස පත්වන්නේ ක්‍රීඩා සමාජ මා පිළිබඳ තැබූ ඉහළ විශ්වාසය නිසා බව අදටත් මම විශ්වාස කරමි.

2016-2018 කාලවකවානුවේදී ක්‍රිකට් පරිපාලනයේ ඉහළ වගකීම් දරමින් දේශීය ක්‍රිකට් පරිපාලන කටයුතු මෙහෙයවූ මා පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පරිපාලන කටයුතු වෙනුවෙන්ද මගේ දායකත්වය ලබා දුනිමි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උපසභාපතිවරු දෙදෙනාගේ මුලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන අංශ මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවති නමුත් වර්තමානයේ මට කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය මා හුදෙකලා කර ඇත. ඒ අනුව මාව ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන ධාරාවෙන් ඉවත් කර ඇති බව මට වැටහීණ. එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටු තුළද විවාදයට තුඩුදෙන ඇතැම් මුල්‍ය ගනුදෙනු සහ සාකච්ඡා වන කරුණු සම්බන්ධයෙන් මා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බව කිව යුතුය. විධායක කමිටු තීරණ සටහන් තැබීම්වල මා නගන විරෝධතා හෝ අදහස් ඇතුලත් නොවීම හරහා අනාගතයේදී මේ සිදුවන ක්‍රියාවලිය තුල ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා උපයාගත් ඉහලම ධනය වන මගේ කීර්තිනාමයට හානි කරගැනීමට මා තවදුරටත් සුදානම් නැත.
සාකච්චා වන කරුණු ඇතුලත් ලිපි ලේඛන විධායක කමිටු රැස්වීම්වලට සැලකිය යුතු කාල සීමාවකට පෙර ලබා දිය යුතු නමුත් එය මෙතෙක් සිදු වී නැත. ඒ හරහා ඇතැම් කරුණු පිළිබඳව තොරතුරු සොයා බැලීමට හා අදහස් දැක්වීමට ලැබෙන කාලය සීමාවීම වත්මන් පරිපාලනයේ විනිවිධභාවය පිළිබද ගැටලු මතු කරන්නකි.
මෙවැනි කරුණු ගණනවක් හරහා මට හැගී ගොස් ඇත්තේ මා දැන් මේ පරිපාලනයට සමුදිය යුතු බවයි. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට සිදු වූ හානිය නිසා මෙන්ම වර්තමාන ක්‍රිකට් පරිපාලකයින් කරන ක්‍රියාවන් පිළිබඳ මා දැඩි සේ කලකිරීමට පත්ව ඇත. වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ උපසභාපති තනතුර මාහට හිමිවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටම සිදුකළ නිහඬ මෙන්ම අවංක සේවය නිසා බව මම සිතමි. නමුත් වත්මන් පරිපාලනයේ බොහෝ සාමාජිකයින් විධායක කමිටු සාකච්ඡාවලදී මෙන්ම අනෙකුත් අවස්ථාවලදී දිගින් දිගටම මේ කාලය තුළ මා දැඩි ලෙස නොසලකා හරින අතර විධායක කමිටු සාකච්ඡාවලදී මා පෞද්ගලිකවම අපහසුතාවට පත් කිරීමේ කටයුතු සිදු කිරීම මා දැඩි කලකිරීමකට පත් කර ඇත.
සැමවිටම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අවංකවම කටයුතු කළ මා හට හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැඳිසිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කළ මා හට ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් ලැබුණු දේ මෙන්ම, අහිමි වූ දේදබොහෝය.

ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳදරාගත් මා දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය.
ඒ අනුව වත්මන් ක්‍රිකට් උපසභාපති තනතුරට සමුදීම හැරෙන්නට අන් විකල්පයක් මේ අවස්ථාවේ මට නොපෙනේ. එබැවින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට සමුදීමට තීරණය කළෙමි. යම්කිසි දිනෙක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුචෙන් සැබෑ ගෞරවණීය සේවාවක් ඉටුකළ හැකි දිනයක් උදාවුවහොත් ඒ වගකීම භාරගැනීමට මා සුදානම්ය.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යහපතක් සිදුකිරීම සඳහා මා හට මෙතෙක් කල් උදව් උපකාර කළ මෙරට ක්‍රිකට් ලෝලින්ටත්, ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ටත් ඉතාම සුළුතරයක් වූ ක්‍රිකට් පරිපාලකයින්ටත්, මාධ්‍යයටත් හෘදයංගවම ස්තුතිවන්ත වෙමි.
මගේ රටේ මිලියන විස්සක ජනතාවගේ ජීවය වූ ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ලෝකයේම අංක එක ලෙස පවතීවා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි.”

Leave a comment