Ultimate magazine theme for WordPress.

යන්ග් සහ කොන්වේගේ අර්ධ ශතක හේතුවෙන් දෙවැනි තරගයේ පාලනය නවසීලන්තයට

Day 2 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මිංහැම්හී දී පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(11) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය නවසීලන්තය වෙත හිමි කර දෙමින්. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.

දිනයේ අවසන් පන්දුවාරයේ දී විල් යන්ග් ලකුණු 82කට දැවී ගියා. විල් යන්ග් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකයයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත්. රෝස් ටේලර් නොදැවී ලකුණු 46ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

නායක ටොම් ලේතම් ලකුණු 6කට දැවී ගිය අතර, ඔහුගේ ආරම්භක සගයා වූ ඩෙවෝන් කොන්වේ ලකුණු 80කට දැවී ගියා. කොන්වේ සිය ඉනිමට එක් කළ හතරේ පහර ගණන 12ක්.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු දෙකක් බිද හෙලූ අතර, ඩෑන් ලෝරන්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.කෙසේ වෙතත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 303ක් පමණයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් වූ අතර, මාර්ක් වුඩ් ලකුණු 41කට දැවී ගියා.

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් රෝරි බර්න්ස් සහ ඩොම් සිබ්ලි අතර ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගුණා. සිබ්ලි ලකුණු 35කටත්, බර්න්ස් ලකුණු 81කටත් දැවී ගියා. සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී යද්දී නායක ජෝ රූට් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත්ත ද එහිදී ලකුණු නොලබා දැවී ගිය ජේම්ස් බ්‍රේසි මෙම ඉනිමේ දී ද පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් සහ මැට් හෙන්රි කඩුලු 3ක් දවා ගත් අතර, අජාස් පටෙල් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

ඒ අනුව නවසීලන්තය මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 74ක්.

Leave a comment