Ultimate magazine theme for WordPress.

පැතුම්ගේ අගනා ශතකය හමුවේ කොදෙව්වන්ට 375ක දැවැන්ත ඉලක්කයක් – Day 4 Report

නවක පිතිකරු පැතුම් නිස්සංක රැස් කළ සුපිරි ශතකයත් සමග සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය මෙරට වේලාවෙන් අද(25) අලුයම නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජෝන් කැම්ප්බෙල් ලකුණු 11කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

Nkrumah Bonner නොදැවී ලකුණු 15යි.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 341ක් ලබා ගත යුතුයි.

සිව්වන දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ලකුණු 476ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පැතුම් නිස්සංක ලබා ගත් විශිෂ්ඨ ශතකය ද අයත්.

ඔහු පන්දු 252කින් ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 6ක් සමගින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ලකුණු 100ක් වාර්තා කළ සිව්වැනි පිතිකරුවා ලෙස ද ඔහු මෙම ඉනිමත් සමග ඉතිහාසයට එක් වුණා.

සිය මංගල ටෙස්ට් ශතකය ආසන්නයටම පැමිණි නිරෝෂන් දැක්වැල්ල අවාසනාවන්ත ලෙස ලකුණු 96කට දැවී ගියා.

සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 91ක් ද, සිය 8 වැනි අර්ධ ශතකය වාර්තා කළ ළහිරු තිරිමාන්න ලකුණු 76ක් ද රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 50ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් කෙමා රෝච් සහ රකීම් කෝන්වෝල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

අනතුරුව කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

Leave a comment