Ultimate magazine theme for WordPress.

නවසීලන්තය අවසන් මොහොතේ තරගාවලි අවලංගු කර පාකිස්තානය හැර යයි

අද(17) රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අත්හිටුවීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

රාවල්පින්ඩි හී දී හා ලාහෝර්හී දී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තිබියදී තරග සංචාරය අත්හිටුවීමට නවසීලන්තය තීරණය කළා.

පළමු තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකේම සාමාජිකයින් ක්‍රීඩාංගනය වෙත පැමිණීම සදහා, ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල්වලින් ද පිටත්ව තිබුණේ නැහැ.

ප්‍රේක්ෂකයින්ට ද ක්‍රීඩාංගනය තුළට ඇතුළු වීමට අවසර නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“නවසීලන්ත රජයේ පාකිස්තානය සඳහා වන තර්ජන මට්ටම ඉහළ යාම සහ පාකිස්තානයේ සිටින නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශකයින්ගේ උපදෙස් අනුව නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අඛණ්ඩව සිදු නොකිරීමට තීරණය කර ඇත. කණ්ඩායම පිටත් වීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී.” යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මේ සම්බන්යෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

“මෙය අපූර්ව සත්කාරකයන් වන පාකිස්තාන ක්‍රිකට් ආයතනයට පහරක් බව මට වැටහෙන නමුත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් වන අතර, වගකිව යුතු එකම විකල්පය මෙය යැයි අපි විශ්වාස කරමු.” යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් වයිට් කියා සිටියා.

කෙසේ වෙතත්, නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඒකපාර්ශ්විකව ගත් මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය නොසතුට පල කර සිටියා.

“පැමිණෙන සියලුම කණ්ඩායම් සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන රජය දැඩි ආරක්‍ෂක විධි විධාන සකස් කර තිබේ. අපි නවසීලන්ත ක්‍රිකට් ආයතනයට ද ඒ බව සහතික කර තිබේ.” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

“පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට පෞද්ගලිකව කථා කළ අතර ලෝකයේ හොඳම බුද්ධි පද්ධතියක් අප සතුව තිබෙන බවත් සංචාරක කණ්ඩායමට කිසිදු ආකාරයක ආරක්‍ෂක තර්ජනයක් නොමැති බවත් ඇයට දැනුම් දී සිටියා. නවසීලන්ත කණ්ඩායම සමඟ සිටින ආරක්ෂක නිලධාරින් පකිස්තාන රජය විසින් ඔවුන් මෙහි රැඳී සිටින කාලය තුළ සිදු කළ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සෑහීමකට පත් වී ඇත.”

“නියමිත තරඟ ඉදිරියට ගෙන යාමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් සිටී. කෙසේ වෙතත්, පාකිස්ථානයේ සහ ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මෙම අවසන් මොහොතේ ඉවත් වීම ගැන කලකිරීමට පත් වනු ඇත.”

Leave a comment