Ultimate magazine theme for WordPress.

පවන්ගේ ශතකය හමුවේ NSL එක්දින ශුරතාවය දඹුල්ලට

Match Report

2024 නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා ලකුණු 19 ක තියුණු ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 332 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 නිමා කළා.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 118 ක් ලබා ගත්තේ පන්දු 108 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

සනෝජ් දර්ශික ලකුණු 73(73) ක් හා මිනෝද් භානුක ලකුණු 69(62) ක් රැස් කළා. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 36යි.

පන්දු යැවීමේ දී පුලින තරංග ලකුණු 68 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට පන්දුවාර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 313 ක් පමණයි.

කමිල් මිෂාර ලකුණු 94(95) ක් හා ලහිරු උදාර ලකුණු 86(50) ක් ලබා ගනිමින් මුල්පෙල ශක්තිමත් කළ නමුත්, එය ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ. මිෂාරගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් අතර, උදාරගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 10 කින් වර්ණවත් වුණා. වනුජ සහන් නොදැවී ලකුණු 44(37) යි.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත හා අයන සිරිවර්ධන කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, මොහමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගත්තා.

Leave a comment