Ultimate magazine theme for WordPress.

ශකිබ් අල් හසාන් යළි සීමිත පන්දුවාර සංචිතයට නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග දෙක සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකු සහිත සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශකිබ් අක්ෂි රෝගී තත්ත්වයකින් පසු වූ අතර, ඒ හේතුවෙන් ඔහු ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශය ක්‍රීඩා කළ නවසීලන්තයට හා ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර, ඔහු එලෙස ටෙස්ට් පිටියට පිවිසියේ ද වසරකට පමණ පසුවයි.

තමාට ජාත්‍යන්තර පිටියට පිවිසීමට පෙර ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවට ශකිබ් පවසා තිබීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි 20 තරග තුන සදහා ඔහුව නම් කර තිබුණේ නැහැ.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී තරගාවලිය අතරමැද යළි බංග්ලාදේශයට පැමිණි වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන් පළමු තරග තුනෙන් විවේක ගන්වා තිබූ අතර, ඔහුව අවසන් තරග දෙක සදහා නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී දණහිසක ආබාධයකට ලක්වී මේ වන විට සුවය ලබා සිටින සෞම්‍ය සාකාර් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශොරිෆුල් ඉස්ලාම් අවසන් තරග දෙකෙන් විවේක ගන්වා ඇති අතර, අෆිෆ් හොසේන් හා පර්වේස් හොසේන් සංචිතයට නම් කර නැහැ.

මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.

SQUAD: Najmul Hossain Shanto (Captain), Litton Kumar Das, Tanzid Hasan Tamim, Shakib Al Hasan, Towhid Hridoy, Mahmudullah, Jaker Ali Anik, Shak Mahedi Hasan, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Tanzim Hasan Sakib, Soumya Sarkar, Tanvir Islam, Mohammad Saifuddin

Leave a comment