Ultimate magazine theme for WordPress.

ඩී කොක්ගේ ශතකය හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය දකුණු අප්‍රිකාවට

Day 2 Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(12) අලුයම නිමා වුණා. ඒ, ක්වෙන්ටන් ඩී කොක් රැස් කළ සුපිරි ශතකය හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 4ක් ලකුණු 82ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 143ක් ලබා ගත යුතුයි.

පළමු ඉනිමේ දී ලකුණු 97කට සියලු පිතිකරුවන් දැවී ගිය පසුබිමක දෙවැනි ඉනිමේ දී ද සාර්ථක පිතිහරඹයක නිරත වීමට කොදෙව්වන්ට මෙතෙක් හැකි වී නැහැ. රොස්ටන් චේස් නොදැවී ලකුණු 21ක් සහ ජර්මයින් බ්ලැක්වුඩ් නොදැවී ලකුණු 10ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පළමු ඉනිමේ දී න්කෘමාහ් බෝනාර්ගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කෙරුණු කිරන් පවෙල් දෙවැනි ඉනිමේ දී නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සමග ඉනිම ආරම්භ කළා. පවෙල් ලකුණු 14කටත්, බ්‍රැත්වෙයිට් ලකුණු 7කටත් දැවී ගියා. ෂායි හෝප් සහ ක්යල් මේයර්ස් ලකුණු 12 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා සහ අන්රිච් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙවැනි දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 128ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 322ක් රැස් කළා. සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 141ක් රැස් කළේ හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් සමගින්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 60ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 46ක් ලබා ගත්තා. ඩීන් එල්ගර් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරගය මෙය වන අතර, ඔහු ලකුණු නොලබා දැවී ගියේ කෙමා රෝච්ගේ පන්දුවක් හමුවේයි. මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට කීගන් පීර්ටසන් සහ Kyle Verreynne සමත් වුණා. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 19ක් සහ ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 4ක් දවා ගත් අතර, සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි ජෙයිඩන් සීල්ස් කඩුලු 3ක් බිද හෙලමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 97කට සීමා වුණේ ලුන්ගි එන්ගිඩීගේ සහ අන්රිච් නොකියාගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන්. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 19කට කඩුලු 5ක් හා ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

Leave a comment