Ultimate magazine theme for WordPress.

ජනිත් ලියනගේගේ ප්‍රහාරය යාපනයට ජය ගෙනෙයි

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරගවලින් ජය වාර්තා කිරීමට යාපනය හා දඹුල්ල කණ්ඩායම් ඊයේ(3) සමත් වුණා. ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ ගාල්ල හා මහනුවර යන කණ්ඩායම්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති 7 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 288 ක් ලබා ගත්තා.

පැතුම් කුමාර ලකුණු 59 ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවිදු ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම පන්දුවාර 48.3 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් කඩුලු හතරක ජයක් හිමි කර ගත්තා.

නායක ජනිත් ලියනගේ ලකුණු 80 ක් රැස් කළේ පන්දු 63 කින්. නිශාන් මදුෂංක ලකුණු 58 ක් හා සදුන් වීරක්කොඩි ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 47 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

දඹුල්ල-මහනුවර තරගය හම්බන්තොට දී පැවැති අතර, එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 201 කට දැවී ගියේ පන්දුවාර 48.3 ක් අවසානයේ දී යි.

අහන් වික්‍රමසිංහ ලකුණු 42 ක් හා සහන් ආරච්චිගේ ලකුණු 37 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා මොහමඩ් ශිරාස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 43 ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

සනෝජ් දර්ශික ලකුණු 48 ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ නොදැවී ලකුණු 44 යි. පන්දු යැවීමේ දී මිතුන් ජයවික්‍රම ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Leave a comment