Ultimate magazine theme for WordPress.

කොරෝනා නිසා ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් අවශ්‍ය ද? SLC පිළිතුර මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ හෝ පුහුණු කාර්යය මණ්ඩලයේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ රටවල් කිහිපයකම ක්‍රිකට් ආයතන එවැනි ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇතත්, මෙරට ක්‍රීඩකයින්ගේ හෝ පුහුණුකරුවන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි අප කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ.

එංගලන්තය, ඇෆ්ඝනිස්තානය, අයර්ලන්තය යන රටවල ක්‍රීඩක වැටුප් සහ සේවක වැටුප් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට පසුගිය දිනවල කටයුතු කෙරුණා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය පුහුණු කාර්යය මණ්ඩලයේ මැයි මස වැටුප 25% කින් කප්පාදු කළ අතර, ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු වුවහොත් එම මාසයට අදාළ පුහුණුකරුවන්ගේ වැටුප 50% කින් කප්පාදු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද ක්‍රීඩක වැටුප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අවධානය යොමු කර තිබූ අතර, සේවක වැටුප් කප්පාදුවක් ද සිදු කළා.

කෙසේ වෙතත්, එවැනි වැටුප් කප්පාදුවක් සිදු කිරීම සදහා මෙතෙක් තම ආයතනයට අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Leave a comment