Ultimate magazine theme for WordPress.

වාර්තාගත ද්විත්ව ශතකයක් සමගින් කුරුප්පුගේ සමාජයට කොන්වේ එක්වෙයි

එංගලන්තයට එරෙහිව ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අද(3) වාර්තා රැසක් අලුත් කරමින් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම ආරම්භ කළ ඔහු පන්දු 347කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 200ක්.

ඔහුගේ ඉනිම හතරේ පහර 22කින් වර්ණවත් වූ අතර එල්ල කරනු ලැබූ එකම හයේ පහර වාර්තා කළේ සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීම සදහා ලකුණු 194ක් ලබා සිටියදීයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 378කට සීමා වුණේ අවසන් කඩුල්ල ලෙස ඩෙවෝන් කොන්වේ දුවද්දී දැවී යාමත් සමගයි.

ඔහු වාර්තා කළ ද්විත්ව ශතකය ඉතිහාසයට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ දී ම (පළමු ඉනිමේ දී හෝ දෙවැනි ඉනිමේ දී) ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 7 වැනි ක්‍රීඩකයා ලෙසයි.

එමෙන්ම මංගල ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙස ද ඔහු වාර්තා අතරට එක් වුණා.

මංගල තරගයට ක්‍රීඩා කරමින් පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් වාර්තා කළ සිදුවීමක් එංගලන්තයේ දී වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි.

මේ අතර, මංගල ටෙස්ට් ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පිතිකරුවන් 6 දෙනෙකු මීට පෙර ටෙස්ට් ඉතිහාසයේ දී වාර්තා වී ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු ද ඇතුළත්.

මංගල ටෙස්ට් ඉනිමේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් :

  • 287 Tip Foster (Eng) vs Aus 1903/04
  • 222* Jacques Rudolph (SA) vs Ban 2003
  • 214 Lawrence Rowe (WI) vs NZ 1971/72
  • 214 Mathew Sinclair (NZ) vs WI 1999/00
  • 201* Brendon Kuruppu (SL) vs NZ 1987
  • 200 DEVON CONWAY (NZ) vs Eng 2021

මීට අමතරව කොදෙව් දූපත්හි කයිල් මේයර්ස් ද මංගල ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කර ඇති අතර, ඔහු එය වාර්තා කළේ දෙවැනි ඉනිමේ දී යි.

Leave a comment