Ultimate magazine theme for WordPress.

උමාර් අක්මාල් නිදහස් – මිලියන 4ක දඩයක් ගෙවන ලෙසටත් නියෝග

පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම තවත් මාස 6කින් අවම කිරීමට ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා සදහා වන බේරුම්කරණ අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට පනවා තිබූ වසර 3ක ක්‍රිකට් තහනම වසරක කාලයක් සදහා අවම වී ඇති බැවින් යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ අවස්ථාව උමාර් අක්මාල්ට මේ වන විට හිමිව ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කරමින් තරග පාවාදීම සදහා සිදු කෙරුණු යෝජනා සම්බන්ධයෙන් තොරතුරු අවස්ථා දෙකකදී වාර්තා නොකිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.

ඊට වසර 3ක ක්‍රිකට් තහනමක් එරට ක්‍රිකට් ආයතනය විසින් ඔහුට පනවනු ලැබුවේ, පළමුව ඔහුට එරෙහිව තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය වසරේ පෙබරවාරි 20 වනදා සිට බලාත්මක වන අයුරින්.

කෙසේ වෙතත්, අනතුරුව උමාර් අක්මාල්ට එරෙහිව පනවා තිබූ වසර 3ක ක්‍රිකට් තහනම වසර එකහමාරක් දක්වා අඩු කිරීමට ඔහුගේ අභියාචනයක් සලකා බැලූ ස්වාධීන විනිසුරුවරයෙකු තීන්දු කළා.

එම තහනම ද ලිහිල් කර ගැනීම සදහා අක්මාල් විසින් ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා සදහා වන බේරුම්කරණ අධිකරණය හමුවේ යළි අභියානයක් ඉදිරිපත් කළා.

එමෙන්ම ඔහුට පැනවූ වසර 3ක ක්‍රිකට් තහනම මාස 18කින් අවම කිරීමට ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් එරට ක්‍රිකට් ආයතනය ද ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනයක් ගොණු කිරීම විශේෂත්වයක්.

ඒ අනුව එම අභියාචනා සලකා බැලීමෙන් පසුව ක්‍රීඩා සදහා වන බේරුම්කරණ අධිකරණය තීන්දු කර ඇත්තේ උමාර් අක්මාල්ගේ ක්‍රිකට් තහනම තවත් මාස 6කින් අවම කිරීමටයි.

එම නියෝගයත් සමග ඔහුගේ වසර 3ක ක්‍රිකට් තහනම වසරක් දක්වා අඩු වන නමුත්, ඔහුට යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමටනම් පාකිස්තාන රුපියල් මිලියන 4.25ක දඩ මුදලක් ද ගෙවීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම එරට ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වන පුනරුත්තාපන වැඩසටහනකට එක්වීමටත් උමාර් අක්මාල්ට සිදු වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, තවත් විමර්ශනයකට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනය භාරයේ පවතින සිය ජංගම දුරකතන දෙක යළි තමාට ලබා දෙන ලෙසට උමාර් අක්මාල් කළ ඉල්ලීම ක්‍රීඩා සදහා වන බේරුම්කරණ අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a comment