Ultimate magazine theme for WordPress.

ආසියානු අභියෝගතා කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවතම සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන පළමු තරගාවලිය වන ඒ සී සී අභියෝගතා කුසලාන (ACC Men’s Challenger Cup) ක්‍රිකට් තරගාවලිය අද(24) තායිලන්තයේ බැංකොක් හී දී ආරම්භ වනවා.

තරගාවලියේ දී සත්කාරක තායිලන්තය, මියන්මාරය, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය ‘බී’ කාණ්ඩය යටතේ ද, බහ්රේනය, භූතානය, මාලදිවයින හා ඉරානය ‘ඒ’ කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතයි.

රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය සදහා ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 15 ක්.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම හා අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම අප්‍රේල් මාසයේ දී නේපාලයේ දී පැවැත්වීමට නියමිත ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, කුවේට්, කටාර් (A කාණ්ඩය යටතේ), ඕමානය, හොංකොං, සිංගපූරුව, මැලේසියාව (B කාණ්ඩය යටතේ) යන රටවල්.

එම ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ශූරතාවය, අනුශූරතාවය හා තෙවැනි ස්ථානය දිනා ගන්නා රටවල් ‘නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය’ සදහා සුදුසුකම් ලබා ගන්නා බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන රටවල නැගී එන කණ්ඩායම් ද එක්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව, පාකිස්තානය හා සුදුසුකම් ලබා ගන්නා රට (ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරයින්) පළමු කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය දෙවන කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

Leave a comment