Ultimate magazine theme for WordPress.

අද ඇරඹුණු IPL තරගාවලියට ඇතුළත් වූ අලුත්ම නීති 3

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියර අද(31) ආරම්භ වුණා. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රාත්‍රී 7.30ට අහ්මදාබාද් හී දී ආරම්භ වුණේ පසුගියවර ශූරයින් වූ ‌ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙවර තරගාවලිය සදහා නව නීති කිහිපයක්ම හදුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා. මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

Impact Player

උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වනවා. මෙය ‘Impact Player’ යන නමිනුයි හදුන්වා දී ඇත්තේ.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී කණ්ඩායමක් විසින් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද නම් කළ යුතුයි.

එම අතිරේක ක්‍රීඩකයින් පස් දෙනා අතරින් එක් අයෙකුයි ‘බලපෑම් ක්‍රීඩකයා’ (Impact Player) ලෙස තරගය අතරතුර දී නම් කළ යුතු වන්නේ.

එක් තරගයක් සදහා එක් බලපෑම් ක්‍රීඩකයෙකු බැගින් යොදා ගැනීමට කණ්ඩායම් දෙකට අවසර හිමි වනවා. කෙසේ වෙතත්, එය අනිවාර්යය නොවේ.

‘බලපෑම් ක්‍රීඩකයා’ හේතුවෙන් ආදේශ කිරීමට ලක් වූ, පළමුව නම් කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්ව සිටි ක්‍රීඩකයාට අදාළ ආදේශ කිරීම සිදු කිරීමෙන් පසුව යළි එම තරගයට කිසිදු අයුරකින් ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ. (අතිරේක පන්දු රකින්නෙකු ලෙසවත් නොහැක)

පන්දු රකින කණ්ඩායමට පන්දු රකින්නෙකු ආබාධයකට ලක් වූ අවස්ථාවකදී ද මෙම ආදේශ කිරීම සිදු කළ හැකියි.

බලපෑම් ක්‍රීඩකයා ‌ලෙස යොදා ගත හැකි වන්නේ ඉන්දීය ක්‍රීඩකයෙකු පමණයි. කණ්ඩායමට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් ගණන 4කට අඩු අගයක් ගන්නේනම් පමණක් විදෙස් ක්‍රීඩකයෙකු කණ්ඩායමට බලපෑම් ක්‍රීඩකයා ලෙස ආදේශ කළ හැකියි.

බලපෑම් ක්‍රීඩකයාට පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව මෙන්ම පන්දුවාර හතරම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව පවතින නමුත්, කණ්ඩායමක පිතිකරණයේ නිරත විය හැකි උපරිම පිතිකරුවන් ගණන 11 දෙනෙකු පමණයි.

ඉනිමේ ආරම්භයට පෙර හෝ පන්දුවාරයක අවසානයෙන් පසුව බලපෑම් ක්‍රීඩකයා හදුන්වා දිය හැකියි.

එමෙන්ම පිතිකරුවෙකු නම්, කඩුල්ලක් දැවී ගිය අවස්ථාවක හෝ පන්දුවාරයක ඕනෑම අවස්ථාවක පිතිකරුවෙකු ඉවත් වන විට බලපෑම් ක්‍රීඩකයා හදුන්වා දිය හැකි වනවා.

කඩුල්ලක් දැවී ගිය අවස්ථාවක පන්දු රකින කණ්ඩායමට බලපෑම් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවිය හැකි නමුත්, කඩුල්ල දැවී ගිය පන්දුවාරයේ තවත් ඉතිරි පන්දු ඇත්නම් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සදහා අදාළ බලපෑම් ක්‍රීඩකයාට පන්දු යැවිය නොහැකි වනවා.

කාසියේ වාසිය හා කණ්ඩායම් 

මෙවර අයි.පී.එල් තරගාවලියට හදුන්වා දී ඇති නව තරග කොන්දේසි අතරින් වඩාත් කැපී පෙනෙන තවත් කොන්දේසියක් බවට පත්ව ඇත්තේ තරගයකට ක්‍රීඩා කරන සිය අවසන් ක්‍රීඩකයින් 11 දෙනාගේ නම් කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම සදහා කණ්ඩායම් වෙත අවසර ලබා දී තිබීමයි.

මේ වන විට පවතින නීති ප්‍රකාරව කණ්ඩායම් විසින් තරගයකට ක්‍රීඩා කරන සිය කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ලැයිස්තුව කාසියේ වාසිය උරගා බැලීමට පෙර හුවමාරු කර ගත යුතුයි. කෙසේ වෙතත්, නව නීතියට අනුව කණ්ඩායම් දෙක විසින් සිය කණ්ඩායමේ 11 දෙනාගේ නාමලේඛනය හුවමාරු කර ගත යුතු වන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුවයි.

එහිදී කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව තම කණ්ඩායම පළමුව පන්දු යවන්නේ ද, පිතිකරණයේ නිරත වන්නේ ද යන්න සම්බන්ධයෙන් දැන ගැනීමෙන් පසුව ඊට ගැලපෙන පරිදි හොදම 11 දෙනාගේ කණ්ඩායම ප්‍රකාශයට පත් කළ හැකියි.

ඒ අනුව සෑම නායකයෙකු විසින්ම කාසියේ වාසිය උරගා බලන අවස්ථාව සදහා කණ්ඩායම් පත්‍රිකා (Team sheets) දෙකක් රැගෙන යනවා. එක් පත්‍රිකාවක් තම කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත වන්නේනම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, සිය කණ්ඩායම පළමුව පන්දු යවන්නේනම් අනෙක් පත්‍රිකාව ප්‍රකාශයට පත් කරනු ඇති.

කාසියේ වාසියේ ප්‍රතිපලය අනුවයි එම පත්‍රිකා ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හෙවත් DRS ක්‍රමවේදය නිපන්දු හා වයිඩ් පන්දු සම්බන්ධයෙන් පිටියේ විනිසුරු ලබා දෙන තීන්දු අභියෝගයට ලක් කිරීම සදහා ද යොදා ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට උදා වී තිබෙනවා.

Leave a comment