Ultimate magazine theme for WordPress.

නවීන්, අමීර් ගැටුම ආරම්භ වීමට තුඩු දුන් හේතුව මෙන්න

ලංකා ප්‍රිමියර් ලීගයේ උණුසුම තව තවත් ඉහළ නංවමින් තරගාවලියේ හයවන තරගය ඊයේ දිනයේදී නිමාව පත්වුණේ පිට පිට තෙවන පරාජයත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි දෙමින්.

මෙම තරගය අවසානයේ සිදු වූ වචන හුවමාරුවක් නිසා මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී රසිකයන්ගේ අවධානය මේ වන විට අදාළ තරගය වෙත යොමුව තිබෙනු දක්නට ලැබෙනවා.

තරගය අවසාන භාගයේදී පන්දුවට පහර දෙමින් සිටි ගාලු කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් අමීර් සමගින් නුවර කණ්ඩායමේ ක්‍රීඩක නවීන් උල් හක් බහින් බස්වීමක් සිදු වුණා.

ඊට මැදිහත් වූ කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ සෙසු ක්‍රීඩකයන් එම බහින් බස්වීම වැඩි දුර නොයා සමථයකට පත්කිරීමට කටයුතු කළා.

කෙසේවෙතත්, තරගය නිමාවිමෙන් පසුව ද නවීන් හා අමීර් යළි වචන හුවමාරුවක යෙදෙනු දක්නට ලැබුණා.

දෙපිළේ ක්‍රීඩකයන් තරගයෙන් පසුව අතට අත ලබා දී ආචාර කළ අවස්ථාව අතරතුර දී ගාලූ කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩි තරමක් ආවේගශීලීව ලාබාල ක්‍රීඩක නවීන් උල් හක් සමග යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

තරගය තුළදීම සිදුවූ යම් සිදුවීමක් මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිවීමට හේතු වූ බවයි දැකගන්නට ලැබුණේ.

නවීන් උල් හක් යොමු කළ 18 වන පන්දුවාරයේ හතරවන පන්දුවට පිතිකරණයේ යෙදී සිටි මොහොමඩ් අමීර් ලෝන්ග් ඕෆ් කලාපය දෙසින් හතරේ පහරක් එල්ල කිරීමට සමත්වෙනවා.

එම හතරේ පහරට පසුව නවීන් යොමු කරන පන්දුවට ද පහරක් එල්ල කිරීමට මොහොමඩ් අමීර් තැත් කළත් එය සාර්ථක වූයේ නැහැ.

එම අවස්ථාවෙදී සමච්චලයට මෙන් අහස දෙස බලමින් උපහාසාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට නවීන් කටයුතු කළා.

ඊයේ තරගයේ අවසාන භාගය උණුසුම් කළ මොහොමඩ් අමීර් හා නවීන් උල් හක්ගේ වචන හුවමාරුව ආරම්භ වූයේ එම සිදුවීමත් සමග බවයි දක්නට ලැබුණේ.

ඊට අදාළ දර්ශන පහතින් – (ගැටුමේ සියලු දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

Leave a comment