Ultimate magazine theme for WordPress.

WPL වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මූලික වටිනාමක් මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු වරට සංචිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (WPL) ක්‍රීඩිකාවන් වෙන්දේසිය සදහා ක්‍රීඩිකාවන් 409 දෙනෙකු ඉදිරිපත් කරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

ක්‍රීඩිකාවන් 1,525 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණ ද, ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු පමණක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවයි සංවිධායකයින් නිවේදනය කළේ.

තරග 22 කින් යුත් කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර මාර්තු 4 වැනිදා සිට 26 වැනිදා දක්වා මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී හා D.Y. Patil ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද(7) තහවුරු කළා.

තරගාවලියට අදාළ වෙන්දේසිය පැවැත්වෙන්නේ එළඹෙන 13 වැනිදා මුම්බායි හී දී යි.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩිකාවන් අතරින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර, 163 දෙනෙකු විදෙස් ක්‍රීඩිකාවන් වනවා. එම විදෙස් ක්‍රීඩිකාවන් අතරින් 8 දෙනෙකු අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල්වල ක්‍රීඩිකාවන් වනවා.

තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 සදහාම උපරිම වශයෙන් ක්‍රීඩිකාවන් 90 දෙනෙකු මිලදී ගත හැකියි. ඉන් විදෙස් ක්‍රීඩිකාවන් සදහා වෙන්ව ඇති ස්ථාන ගණන 30 ක්.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක ඉහළම මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් ගණන 24 ක්.

Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma, Shafali Verma යන ඉන්දීය ක්‍රීඩිකාවන් මෙන්ම Ellyse Perry, Sophie Ecclestone, Sophie Devine හා Deandra Dottin ඇතුළු විදෙස් ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ද රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වනවා.

වෙන්දේසියට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගේ මූලික වටිනාකම වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක්.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කෙරෙනවා. එම ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුව හා ඔවුන්ගේ මූලික වටිනාකම් පහතින් –

  1. චමරි අතපත්තු – ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 132 ක් පමණ)
  2. අනුෂ්කා සංජීවනී – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  3. ඉනෝකා රණවීර – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  4. නිලක්ෂි ද සිල්වා – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  5. විශ්මි ගුණරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  6. හර්ෂිතා සමරවික්‍රම – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  7. හසිනි පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  8. කවීෂා දිල්හාරි – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  9. ඕෂදී රණසිංහ – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  10. මල්ෂා ශෙහානි – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  11. අචිනි කුලසූරිය – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  12. උදේෂිකා ප්‍රබෝදනී – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  13. තාරිකා සෙව්වන්දි – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  14. සුගන්දිකා දසනායක – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  15. ඉනෝෂි ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 30
Leave a comment