Ultimate magazine theme for WordPress.

vivo සමාගම IPL අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙයි

චීනයට අයත් vivo සමාගම අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුගාහකත්වයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් බළධාරීන් සහ vivo සමාගමේ නිළධාරීන් අතර පැවැති සාක්ඡාවකින් පසුව දෙපාර්ශවය අතර පවතින ගිවිසුම අවසන් කිරීමට එකගතාවයකට එළඹ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2017 වසරේ දී vivo සමාගම අයි.පී.එල් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත් අතර, එය 2018 – 2022 යන වසරවලට අදාළ තරගාවලි සදහා බලාත්මකයි.

ඉන්දීය රුපියල් කෝටි 2199 ක ලංසුවකටයි vivo සමාගම මෙම අනුග්‍රාහකත්වය ලබා ගෙන තිබුණේ.

එම මුදල ඊට පෙර වසර 5ට අදාළ අනුග්‍රාහකත්ව ගිවිසුමට සාපේක්ෂව 455%ක ඉහළ අගයක් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එක් තරග වාරයක් වෙනුවෙන් ලැබීමට නියමිත මුදල ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 440ක්.

පසුගියදා පැවැති අයි.පී.එල් පාලක සභා රැස්වීමේ දී තීරණය කෙරුණේ vivo සමාගම තවදුරටත් අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස තබා ගැනීමටයි.

කෙසේ වෙතත්, ඉන්දු – චීන දේශසීමා ආශ්‍රිතව පසුගිය කාලයේ ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් vivo සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

ඒ හේතුවෙනුයි මෙලෙස vivo සමාගම ප්‍රධාන අනුගාහකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇතැම් විට මෙම ඉවත් වීම මෙම වසරට පමණක් වලංගු වනු ඇති.

ඒ අනුව සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර තරග වාරය සදහා නව ප්‍රධාන අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් කැදවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Leave a comment