Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාව A කාණ්ඩයට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(21) නිවේදනය කෙරුණා.

ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු වටයේ තරග පැවැත්වෙන අතර, ඒ සදහා ශ්‍රී ලංකාව, නැමීබියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය යන රටවල් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකා හා නැමීබියාව A කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් රටවල් 4ක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමට නියමිතව ඇති අතර, ඉන් කණ්ඩායම් දෙක බැගින් ඉහත සදහන් කාණ්ඩ දෙක වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 16 වනදා තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නැමීබියාව අතරයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය ඔක්තෝබර් 18 වැනිදා ද, තෙවැනි තරගය ඔක්තෝබර් 20 වැනිදා ද පැවැත්වෙන අතර, එම තරග දෙකේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන කණ්ඩායම් තීරණය වන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලිවල ප්‍රතිපල අනුවයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සියලු තරග ජීලෝන්ග් හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු වටයට තරග වදින රටවල් 8න් සුපිරි 12 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සංඛ්‍යාව 4ක්.

A කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායමත්, B කාණ්ඩයේ දෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායමත් සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයට සුදුසුකම් ලබනවා.

B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම හා A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම දෙවන කාණ්ඩය සදහායි තේරී පත් වන්නේ.

සුපිරි 12 වටයේ තරග ඔක්තෝබර් 22 වනදා සිට ආරම්භ වන අතර, පළමු තරගය සිඩ්නි හී දී පැවැත්වෙන්නේ පසුගිය වසරේ 20යි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියාව හා අනුශූරතාවය දිනූ නවසීලන්තය අතරයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයක් මෙවර ද සුපිරි 12 වටයට ඇතුළත් අතර, එය ඔක්තෝබර් 23 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩාංගන 7කදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් 9 වනදා හා නොවැම්බර් 10 වැනිදා ද, අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා ද පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

  • Group 1: Australia, New Zealand, England, Afghanistan, A1, B2
  • Group 2: India, Pakistan, South Africa, Bangladesh, B1, A2

තරග කාලසටහන –

ICC
Leave a comment