Ultimate magazine theme for WordPress.

IPL සදහා ICC තරග කාලසටහනෙන් මාස දෙකහමාරක කාලයක් ; තරග ප්‍රමාණය 94ක් දක්වා ඉහළට

ජගත් ක්‍රිකට් කවුන්සලයේ මීළග ජාත්‍යන්තර තරග සංචාර කාලසටහන (FTP) තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා නිල වශයෙන් මාස දෙකහමාරක කාලයක් වෙන්ව ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් පවසනවා.

ඒ අනුව 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලයේ දී අයි.පී.එල් තරගාවලිය මාස දෙකහමාරක කාලයක් පැවැත්වීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ සිටින ප්‍රබලම ක්‍රීඩකයින්ට තරගාවලියට ක්‍රීඩා කිරීමේ හැකියාව ඒ තුළින් හිමි වන බව ජේ ශාහ් සදහන් කළා.

2018-22 වසරවලට අදාළ තරග චක්‍රය සදහා එක් තරග වාරයකට තරග 60 බැගින් ඇතුළත් කරමිනුයි තරග විකාශන අයිතිය ලබා දී තිබුණේ.

කෙසේ වෙතත්, 2023-27 කාලයට අදාළ රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය ලබා දී ඇත්තේ එක් එක් තරග වාරයට විවිධ තරග ප්‍රමාණයන් ඇතුළත් වන පරිදියි.

ඒ අනුව 2023 හා 2024 වසරවලදී අයි.පී.එල් තරගාවලිය සදහා තරග 74 බැගින් පැවැත්වීමට නියමිතයි.

2025 හා 2026 වසරවලදී අයි.පී.එල් තරගාවලියකට ඇතුළත් වන තරග සංඛ්‍යාව 84ක්.

2027 වසරේ දී එය තරග 94 ක් දක්වා ඉහළ නැංවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම තීරණයට ඉන්දීය ප්‍රේක්ෂකයින් ඇතුළු බොහෝ පාර්ශවවලින් විරෝධයක් ද මතුව ඇති බව දක්නට ලැබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය බොහෝ වෙහෙසකාරී තරගාවලියක් මෙන්ම ආකර්ශනය අඩු තරගාවලියක් බවට පත් වනු ඇති බවයි.

නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය සදහා ඉන්දීය උප මහද්වීපික කලාපයේ රූපවාහිනී විකාශන අයිතිය යළිත් හිමි කර ගැනීමට Star India සමාගම සමත්වුණේ වාර්තාගත ඉන්දීය රුපියල් කෝටි 23,575 ක ලංසුවක් යටතේයි.

තරගාවලියේ ඩිජිටල් විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 23,758 ක ලංසුවක් ඉදිරිපත් කළ Viacom18 සමාගම දිනා ගත්තා.

ඒ අනුව එක් තරගයක සමස්ත විකාශන වටිනාකම සලකා බැලීමේ දී අයි.පී.එල් තරගාවලිය වාර්තා අතරට එක්වන්නේ ලොව දෙවැනි මිල අධිකම විකාශන වටිනාමකක් සහිත ක්‍රීඩා ලීග් තරගාවලිය ලෙසයි.

Leave a comment