Ultimate magazine theme for WordPress.

IPL ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ ; තරග කාලසටහන මෙන්න

ලොව ප්‍රමුඛතම 20යි 20 ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියර අදින් (31) ආරම්භ වනවා.

පසුගිය තරග වාරයේ දී අයි.පී.එල් තරගාවලිය මුම්බායි, පූනේ හා අහ්මදාබාද් හී දී පමණක් පැවැති නමුත්, මෙවර තරගාවලිය යළිත් සත්කාරක හා සංචාර ආකෘතිය (home and away format) යටතේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම 2023 තරගාවලියේ දී සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද, සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද ලීග් වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

දින 52 ක් පුරා ලීග් වටයේ තරග 70 ක් ක්‍රීඩාංගන 12 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය අද ආරම්භ වන්නේ පසුගියවර ශුරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අහ්මදාබාද් හී දී පැවැත්වෙන තරගයත් සමගයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 18 ක් ද තරග කාලසටහනට ඇතුළත්. දහවල් තරගය පස්වරු 3:30ට ද, රාත්‍රී තරගය 7:30ට ද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී සත්කාරකත්වය දරන පළමු තරග දෙක ගුවහාටි හී දී පැවැත්වෙන අතර, සෙසු සත්කාරක තරග ජායිපූර්හී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පංජාබ් කිංග්ස් කණ්ඩායම සිය සත්කාරකත්වය යටතේ ක්‍රීඩා කරන පළමු තරග 5 මොහාලි හී දී ක්‍රීඩා කිරීමට නියමිතයි. සත්කාරකත්වය දරන අවසන් තරග දෙක ඔවුන් ක්‍රීඩා කරන්නේ ධරම්ශාලා හී දී යි.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 28 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන ඉදිරියේ දී නිවේදනය කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායම සදහා ද, වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ අයි.පී.එල් තරගාවලිය සදහා එක්වන්නේ මේ වන විට ක්‍රියාත්මක නවසීලන්ත තරග සංචාරය නිමා වීමෙන් පසුවයි. (අප්‍රේල් 8 වැනිදායින් පසුව)

මෙතෙක් පවත්වා ඇති අයි.පී.එල් තරගාවලි 15 අතරින් තරගාවලි 5 ක ශුරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ද, තරගාවලි 4ක ශුරතාවය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ද හිමි කර ගෙන තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා දෙකකදී ශුරතාවය දිනා ගත්තා. එක් ශූරතාවය බැගින් ජය ගෙන ඇති කණ්ඩායම් වන්නේ රාජස්ථාන් රෝයල්ස්, සන්රයිසස් හයිදරාබාද්, ඩෙකෑන් චාර්ජර්ස් හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම්.

තරග කාලසටහන –

BCCI
BCCI
Leave a comment