Ultimate magazine theme for WordPress.

5 වැනි තරගය එකට ගන්න ඉන්දියාව තාමත් ඉල්ලීමක් කළේ නැහැ : එංගලන්ත ක්‍රිකට් ආයතනය

එළඹෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීම සදහා මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිල ඉල්ලීමක් සිදු කර නොමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 31 පැවැත්වීම සදහා ප්‍රමාණවත් කාලයක් සැප්තැම්බර් මාසයේ දී සකස් කර ගැනීමේ අරමුණින් ඉන්දියාව එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය ඒ බව සදහන් කළා.

දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එය අවසන් වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 14 වනදායි.

අවසන් ටෙස්ට් තරගය සැප්තැම්බර් 10 වනදා සිට 14 වනදා දක්වා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර. එම තරගය ජූලි අවසන් සතියේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුව ඇති බවටයි මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

කෙසේ වෙතත්, එවැනි සංශෝදනයක් සිදු කළහොත් ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට ඉන් බලපෑමක් එල්ල වනු ඇති.

එමෙන්ම මේ වන විටත් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද ආරම්භ කර අවසන්.

එවැනි කරුණු හේතුවෙන් ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීම සදහා ඉල්ලීමක් ඉදිරිපත් වුවද එය සිදු කිරීම දැඩි අභියෝගයක් වනු නොඅනුමානය.

Leave a comment