Ultimate magazine theme for WordPress.

2022 T20 ලෝක කුසලානයේ දින හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගන 7කදී පැවැත්වෙන බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද (16) නිවේදනය කළා.

තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

තරග 45කින් යුත් තරගාවලිය ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, ජිලෝන්ග්, හෝබාර්ට්, මෙල්බර්න්, පර්ත් හා සිඩ්නි හී දී පැවැත්වෙන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 9 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ද, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා මේ වන විට සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය යන රටවල් සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවට, බටහිර ඉන්දීය කොදෙව්වන්ට, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය ද පළමු වටයේ සිට ආරම්භ කිරීමට සිදු වනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් තේරී පත් වන තවත් කණ්ඩායම් 4ක් ද පළමු වටයට සුදුසුකම් ලබනු ඇති.

මෙම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය මීට පෙර 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය 2022 වසරට කල් දැමුණා.

Leave a comment