Ultimate magazine theme for WordPress.

ෆෆ්, මිලර් සහ මලාන්ට LPL අහිමි වන ලකුණු

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ ඩේවිඩ් මිලර්ට එම අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය පැවැත්වීම සදහා දකුණු අප්‍රිකා රජය විසින් එරට ක්‍රිකට් ආයතනයට අවසර ලබා දීමත් සමගයි.

ඒ අනුව ලෝක ශූර එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව 20යි 20 තරග 3කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

නොවැම්බර් 27 වනදා ආරම්භ වන තරගාවලිය දෙසැම්බර් 9 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මැද භාගයේ දී දකුණු අප්‍රිකාව වෙත ළගා වන බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එල්.පී.එල් තරගාවලිය පැවැත්වෙන්නේ නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වායි.

ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ දඹුල්ල හෝක්ස් කණ්ඩායමේ ඩේවිඩ් මිලර්ට අමතරව එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මලාන්ට ද එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.

ඔහු එල්.පී.එල් තරගාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

ඔවුන්ට අමතරව එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කට් ද මෙවර එල්.පී.එල් තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම විසින් පසුගියදා තෝරා ගනු ලැබුවා.

Leave a comment