Ultimate magazine theme for WordPress.

හයේ පහර වැළැක්වීමෙන් ඉසුරුගේ කණ්ඩායමට අවසන් පන්දුවේදී තියුණු පරාජයක්

කැරිබියන් ප්‍රිමියර් ලීගයේ තවත් තරගයක් ඊයේ (29) දිනයේදී නිමාවට පත් වුණේ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට අවසන් පන්දුවේදී ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුන කරමින් මෙලෙසින් නිමාවට පත්වුණේ 07 වන තරගයයි.

මෙම තරගයේ දී කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ කිරන් පොලාඩ් නායකත්වය දරන ඉසුරු උදාන ක්‍රීඩා කරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

ශාන්ත කිට්ස් හී වෝනර් පාර්ක් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී රැස්කරගත් ලකුඛු සංඛ්‍යාව 157 ක්.

ටිම් ඩේවිඩ් ලකුණු 43(32) ක් රැස්කළා. රොස්ටන් චේස් නොදැවී ලකුණු 30(24) යි. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 28(25) කටත්, රකීම් කෝන්වෝල් ලකුණු 23(14) කටත් දැවී ගියා. නායක ෆෆ් ඩු ප්ලෙසිස් හට රැස්කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 10(15) ක් පමණයි.

පන්දු යැවීමෙදී රවී රාම්පෝල් කඩුලු 03 ක් බිඳ හෙලූ අතර ජේඩ්න් සීල්ස් සහ අකීල් හොසේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පෙර තරගයේ දී ට්‍රින්බෑගෝ කණ්ඩායම වෙනුවෙන් තරගයේ වීරයා බවට පත්වු ඉසුරු උදාන මෙම තරගයෙදී තරමක ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහෑ. නියමිත පන්දුවාර 4 තුළ ඔහු ලබාදුන් ලකුණු සංඛ්‍යාව 45 ක්.

අනතුරුව ලකුණු 158 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ට්‍රින්බෑගෝ පිතිකරුවන්ට, ශාන්ත ලුසියා කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් කිසිදු සහනයක් හිමි වූයේ නැහැ.

පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඔවුන්ට රැස්කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 102 ක් පමණයි.

ඉන් පසුව 4 වන කඩුල්ලට පිටියට පිවිසි ටිම් සයිෆර්ට් සමග කොලින් මන්රෝ දියත් කළ වේගවත් සබදතාව ට්‍රින්බෑගෝ කණ්ඩායමට ජයග්‍රහණය පිළිබද යම් බලාපොරොත්තුවක් ගෙන ආවා.

අවසන් පන්දු 21 (පන්දුවාර 3.3) තුළ ජයග්‍රහණය සදහා අවශ්‍ය වූ ලකුණු 50 ක ඉලක්කය, අවසන් පන්දුවාරය තුළ ලකුණු 14 ක් බවට අවමව වීමට තරම් ඔවුන් දෙදෙනාගේ සබඳතාව වේගවත් වුණා.

ශාන්ත ලුසියා කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාරය යොමු කළේ වහබ් රියාස්.

වහබ් පළමු පන්දුවට ලකුණු 4 ක් ලබාදුන් නමුත්ථ ඉන් පසුව යොමු කළ පන්දු 4 ට ලබාදුන්නේ ලකුණු 4 ක් පමණයි.

ජයග්‍රහණය සදහා අවසන් පන්දුවට ලකුණු 6 ක් අවශ්‍යව තිබූ අතර එම පන්දුවට පහර දුන් ටිම් සයිෆර්ට් හට කිසිදු ලකුණක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහෑ.

ඒ අනුව ශානත ලුසියා කිංග්ස් කණ්ඩායට ලකුණු 5 ක තියුණු ජයග්‍රහණයක් හිමිවුණේ වහබ් රියාස් විශිෂ්ඨ අන්දමින් අවසන් පන්දුවාරය ලකුනු 8 කට සීමා කිරීමත් සමගයි.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන ගිය ටිම් සයිෆර්ට් පන්දු 16 කදී නොදැවී ලකුණු 40 ක් රැස් කළා. ඒ, හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 5 ක් සමගයි.

කොලින් මන්රෝ නොදැවී ලකුණු 40(47) යි. ලෙන්ඩ්ල් සිමන්ස් හට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 25(30) ක් පමණයි. නායක පොලාඩ් ලකුණු 9(11) කට දැවී ගියා.

පන්දු යැවීමේදී වහබ් රියාස්, කීමෝ පෝල් සහ රොස්ටන් චේස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා රොස්ටන් චේස්.

( අවසන් පන්දුවේ දර්ශන පහතින් )

Leave a comment