Ultimate magazine theme for WordPress.

“ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මේක හොද පණිවිඩයක්” – මුම්බායි පුහුණුකරු මහේල IPL ගැන කතා කරයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම ඔවුන්ට හොද පණිවිඩයක් සපයන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරගකාරී වීමේ වැදගත්කම මේ තුළින් පෙන්නුම් කරන බවයි ඔහු පෙන්වා දෙනේනේ.

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 18 වනදා චෙන්නායි හී දී පැවැති නමුත් එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් ඉදිරිපත් වූයේ නැහැ.

ලසිත් මාලිංග ලීග් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීමත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉසුරු උදාන නිදහස් කිරීමත් හේතුවෙන් මෙවර තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත් වන්නේ නැහැ.

ඒ අනුව කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අයි.පී.එල් කණ්ඩායමක සංචිතයකට ඇතුළත්ව නොවී පවත්වන පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසයි මෙම වසරේ තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ.

“මම හිතන්නේ අපිට තවමත් නියෝජනයක් තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා.” යනුවෙන් හාස්‍ය මුසුව මහේල සදහන් කළේ කුමර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස සහ තමා මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරත් අයි.පී.එල් තරගාවලියට සහභාගී වීම සිහිපත් කරමින්.

“නමුත් ඔව්. ටිකක් කණගාටුයි. මේක ගොඩක් අමාරු තැනක් මොකද විදෙස් ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණ තෝරා ගැනීමේ දී සහ ඉන් බහුතරයක් වේග පන්දු යවන්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන විට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ යම් අඩුවක් පවතිනවා ඒ පැත්තෙන්”

“අයි.පී.එල් කියන්නේ ලෝකයේ හොදම ක්‍රීඩකයින් ලබා ගැනීමට උත්සාහ කරන තැනක්. මෙය හොද පණිවිඩයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රීඩාව ඉහළ නැංවීමට සහ තරගකාරී වීමට. ඉතිං ඔවුන්ට පුලුවන් අයි.පී.එල් තරගාවලියේ කොටස්කරුවන් වෙන්න ඔවුන්ගේ කුසලතා මත”

කෙසේ වෙතත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයක්.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංචාර වැඩපිළිවෙල සම්බන්ධයෙන් තියෙන අවිනිශ්චිතභාවය තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. ඒ නිසා ගොඩක් අමාරුයි අනුමාන කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කොපමණ කාලයක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි ද කියලා.” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර සදහන් කළා.

ALSO READ : “ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී නොගත්තේ ඔවුන් අදක්ෂ නිසා නොවෙයි” හේතුව සංගා පදහයි

Leave a comment