Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව T20 ලෝක ශූරතාවය දිනා අදට වසර 7යි – විශේෂ අවස්ථා මෙතනින් නරඹන්න

ශ්‍රී ලංකාව අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා අදට වසර 7ක් සපිරෙනවා.

2014 වසරේ අප්‍රේල් 6 වැනිදා එනම් අද වැනි දිනක ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින් ලෝක 20යි 20 ශූරතාවය දිනා ගත්තා.

වසර 5ක පමණ කාලයක් තුළ ලෝක කුසලාන තරගාවලි 4ක අවසන් මහා තරග පරාජයට පත්වූ පසුබිමකයි ශ්‍රී ලංකාව මෙම ශූරතාවය 2014 වසරේ දී ජය ගනු ලැබුවේ.

ඊට පෙර ශ්‍රී ලංකාව 1996 වසරේ දී එක්දින ලෝක කුසලානය ජය ගත් අතර, 2007 සහ 2011 වසරවලදී එක්දින ලෝක අනුශූරතාවය දිනා ගත්තා.

2009 සහ 2012 වසරවල පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියන්හී දී ද ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූයේ අවසන් තරගය පිළිවෙලින් පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.

බංග්ලාදේශයේ පැවැති 2014 ලෝක පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරග කිහිපයේ දී කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසිනුයි.

තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ එක් තරගයක් පමණයි.(එංගලන්තයට එරෙහිව)

අවසන් මහා තරගය බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැති අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා ගනිමින්.

විරාට් කෝලි ලකුණු 77ක් රැස් කළේ පන්දු 58කින් හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

යුවරාජ් සිං පන්දු 21කදී ලකුණු 11ක් පමණක් ලබා ගැනීමත් අවසන් පන්දුවාර 4 තුළ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉන්දියානුවන්ට ලකුණු 19ක් පමණක් ලබා දීමත් තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාව දෙසට නතු වීමට හේතු වුණා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 29කට එක් කඩුල්ලක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25කට එක් කඩුල්ලක් සහ රංගන හේරත් ලකුණු 23කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලසිත් මාලිංග සහ සචිත්‍ර සේනානායක කඩුලු බිද හෙලීමට සමත් නොවුණ ද ඔවුන් පිළිවෙලින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 27ක් සහ 22ක් පමණයි. (මෙම සියලු පන්දු යවන්නන් පන්දුවාර 4 බැගින් යොමු කළා)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදීයි.

තරගාවලිය පුරාවට ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ කුමාර් සංගක්කාර අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දු 35කින් ලකුණු 52ක් නොදැවී ලබා ගනිමින්.

එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඊට ඇතුළත්.

තිසර පෙරේරා ලකුණු 23(14) රැස් කළේ හයේ පහර 3ක් සමගින්.

අවසන් තරගයේ වීරයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙස විරාට් කෝලි සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment