Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව සිය දිවි නසා ගනියි

Match Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට එංගලන්තය අද(1) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 29 වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 26ක ජයක් ලැබීමත් සමගයි.

ශ්‍රී ලංකාව ලැබූ එම පරාජය සිය දිවි හානි කර ගැනීමට සමාන වූයේ කණ්ඩායමේ ඇතැම් තේරීම් හා පන්දු යැවීමේ දී වේග පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10 තුළ දී තණතීරුවේ හැසිරීම පිළිබද කිසිදු අවබෝධයක් නොමැතිව පන්දු යැවීම හේතුවෙන්.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වන එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කරමින්.

ඒ, ජොස් බට්ලර් ඉනිමේ අවසන් පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් වාර්තා කළ ඔහුගේ මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකයෙන් ශක්තිමත් වෙමින්. ඔහු පන්දු 67කින් ලකුණු 101ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 6 බැගින් සිය ඉනිමට එක් කරමින්.

බට්ලර් සිය අර්ධ ශතකය පන්දු 45ක් වැය කරමින් වාර්තා කළ අතර, එය ඔහු 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 50 සීමාවට ළගා වීම සදහා වැය කළ වැඩිම පන්දු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත්, අර්ධ ශතකයෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් බට්ලර් සිය සුපුරුදු ප්‍රවේගකාමී ඉනිම දියත් කළා.

ඔහු අර්ධ ශතකයේ සිට ලකුණු 101 ලබා ගැනීම දක්වා වැය කළේ පන්දු 22ක් පමණයි.

එංගලන්ත ඉනිමේ පළමු පන්දුවාර 10 ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉතාමත් හොදින් යොමු කළ අතර, එහිදී එංගලන්ත පිතිකරුවන් රැස් කළේ ලකුණු 47ක් පමණක් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අනතුරුව කිසිදු පන්දු පාලනයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් දැක ගත නොහැකි වූ අතර, තණතීරුවේ හැසිරීම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් පන්දු යවන්නන්ට තිබෙන බවක් පන්දු යැවූ ආකාරය ඔස්සේ පිළිඹිබු වූයේ නැහැ.

සාජා තණතීරුව තුළ Good Length හි පතිත කරන පන්දු සදහා පහර දීම එංගලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් වී තිබුණ ද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු පන්දුවාර 10න් අනතුරුව එම සැලසුමෙන් බැහැරව යාම එංගලන්තයට වාසි සහගත වුණා.

අවසන් පන්දුවාර 10 තුළ දී එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 116ක්.

කණ්ඩායම තේරීමේ දී අමතර දග පන්දු යවන්නෙකු ඇතුළත් නොකිරීමේ වරද මෙම තරගයේ දී දැඩිව ශ්‍රී ලංකාවට බලපෑ අතර, එම වරද සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් අවස්ථා රැසකදී පෙන්වා දෙනු ලැබුවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාව සිය ශක්තිය හදුනා ගනිමින්, දග පන්දු යවන්නන් වෙත වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ක්‍රීඩා විචාරකයින් බොහෝ විට පෙන්වා දුන්නේ. එංගලන්තය වැනි කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමේ දී එය ඉතා වැදගත් බව නොරහසක්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 21කට කඩුලු 3ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 43කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 13ක් පමණයි. ළහිරු කුමාර සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 44ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 1කට දුවද්දී දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 21කට දැවී ගියා. කුසල් ජනිත් ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 13යි. භානුක රාජපක්ෂ ලකුණු 26ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ 5 වන කඩුල්ල ලකුණු 76 දී බිද වැටුණු අතර, අනතුරුව වනිදු හසරංග හා දසුන් ශානක අතරේ 6 වැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සබදතාවක් පන්දු 36කින් ගොඩ නැගුණේ තරගයේ ජයග්‍රහනය පිළිබදව යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට හිමි කරමින්.

කෙසේ වෙතත්, එම සබදතාවය බිද වැටීමත් සමග තරගයේ පාලනය සම්පූර්ණයෙන් එංගලන්තය වෙත නතු වුණා.

වනිදු හසරංග ලකුණු 34(21)ක් රැස් කළ අතර, දසුන් ශානක ලකුණු 26කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

පන්දු යැවිමේ දී මොයීන් අලී, අඩිල් රෂීඩ් හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ වන විට එංගලන්තය මෙතෙක් ක්‍රීඩා කළ තරග 4ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියනු ලැබුවත්, ඔවුන් මෙතෙක් අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගෙන නැහැ. කෙසේ වෙතත්, ඉහළ දල ලකුණු ලබා ගැනීමේ වේගයකට ද එංගලන්තය හිමිකම් කියන බැවින් ඔවුන්ට අවසන් පූර්ව වටයේ ස්ථානයක් බොහෝ දුරට හිමි වනු ඇති.

Leave a comment