Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද තරග බිමට

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද(30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත මෙම තරගය අද රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිතයි.

තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය අද දින දක්වා කල් දැමීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කළේ පළමු අවසන් පූර්ව තරගය පසුගිය 28 වැනිදා වර්ෂාව හේතුවෙන් පවත්වා අවසන් කිරීමට නොහැකි වූ බැවින්.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ඉනිමේ පන්දුවාර 17 ක් පමණක් එදින ක්‍රියාත්මක කිරීමට හැකි වූ අතර, ඉතිරි පන්දුවාර 3 හා ඉන්දීය ඉනිම ඊයේ(29) දිනයේ දී පැවැත්වීමට කටයුතු කෙරුණා.

එම තරගයෙන් ජය ගත් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට හෙට (1) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා.

අවසන් පූර්ව තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් කාසියේ වාසිය මත තරගයේ ජයග්‍රාහකයා තෝරා ගන්නා බවයි සංවිධායකයින් නිවේදනය කළේ.

අවසන් මහා තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවහොත් අවසන් තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Leave a comment