Ultimate magazine theme for WordPress.

ශම්සි, මාක්‍රම්ගේ දග පන්දුව හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි; දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Match Report

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද(12) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ද ඔවුන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී විදුලි ආලෝකය මැද පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ වෙනස්කම් දෙකක් ද සමගින්.

ඒ අනුව ආබාධයකට ලක් වීමෙන් පසුව කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වී සිටි කුසල් ජනිත් පෙරේරා සම්පූර්ණ සුවය ලබා යළි කණ්ඩායමට පැමිණි අතර, ප්‍රවීන් ජයවික්‍රම ද මෙම තරගයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගත්තා.

ඔවුන් දෙදෙනාගේ පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ ස්ථාන අහිමි වූයේ අවිශ්ක ප්‍රනාන්දුට හා අකිල ධනංජයටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් ජනිත් හා දිනේෂ් චන්දිමාල් ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගුවේ ලකුණු 10ක සබදතාවයක් පමණයි. චන්දිමාල් ලකුණු 5කට දැවී ගියේ අන්රිච් නොකියාගේ පන්දුවක් හමුවේයි.

@ SLC

අඛණ්ඩව ලකුණු නොලබා ඉනිම් 3කදී දැවී ගිය භානුක රාජපක්ෂ මෙම ඉනිමේ දී පන්දු 13කින් ලකුණු 20ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 3ක් සමගින්.

ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 6 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 52ක් ලබා ස්ථාවර මට්ටමක රැදී සිටි නමුත්, අනතුරුව ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා.

ධනංජය ද සිල්වා ලකුණු 4කට දැවී ගිය අතර, නායක දසුන් ශානක එක් හයේ පහරක් සමගින් රැස් කළේ ලකුණු 10ක් පමණයි. කුසල් ජනිත් ලකුණු 30(25)යි. ඒ, හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින්. යළිත් අසාර්ථක වූ වනිදු හසරංග ලකුණු 4කට දැවී ගිය අතර, චාමික කරුණාරත්නට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි. චරිත් අසලංක පන්දු 20කින් ලකුණු 14ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 18.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 103කට සීමා වුණා. එය මෙරට පැවැති 20යි 20 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහර දී ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම එය දකුණු අප්‍රිකාවට එරෙහිව 20යි 20 තරගයකදී ශ්‍රී ලංකාව රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ද වනවා.

@SLC

පන්දු යැවීමේ දී ටැබ්රයිස් ශම්සි ලකුණු 20කට කඩුලු 3ක් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 14.1ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.

පළමු කඩුල්ලට ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගීමට ක්වෙන්ටන් ඩී කොක් හා රීසා හෙන්ඩ්‍රික්ස් සමත් වූ අතර, වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ හෙන්ඩ්‍රික්ස් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 18(19)ක්. ක්වෙන්ටන් ඩී කොක් ​සිය 10 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 57(48)ක් රැස් කළා. ඒ, හතරේ පහර 7ක් සමගින්. ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 21යි.

අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ පසුබිමක, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුව වන වනිදු හසරංගට පවර් ප්ලේ අවස්ථාවේ දී පන්දු යැවීමට අවස්ථාව ලබා නොදීම අනුමත කළ නොහැකි බවයි ඇතැම් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දුන්නේ.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇති අතර, අවසන් 20යි 20 තරගය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතයි.

@SLC
Leave a comment