Ultimate magazine theme for WordPress.

වෝනර් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Match Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් අද(28) ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා.

ඩුබායි ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ කඩුලු 7කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 7කට දැවී ගියා. අනතුරුව කුසල් ජනිත් හා චරිත් අසලංක එක්ව දෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය පන්දු 44කින් ලකුණු 63ක්.

ඔවුන් දෙදෙනාම හයේ පහර බැගින් හා හතරේ පහර 4 බැගින් වාර්තා කරමින් ලකුණු 35 බැගින් රැස් කළා.

කෙසේ වෙතත්, එම සබදතාවයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ බිද වැටීමක් සිදු වූ අතර, ලකුණු 16කදී කඩුලු 4ක් දැවී ගියා.

SLC

අවිශ්ක ප්‍රනාන්දු හා වනිදු හසරංග ලකුණු 4 බැගින් ලබා ගෙන සිටියදී දැවී ගිය අතර, අනතුරුව භානුක රාජපක්ෂ හා නායක දසුන් ශානක අතර 6 වැනි කඩුල්ලට ලකුණු 40ක සබදතාවයක් ගොඩ නැගුණා.

භානුක නොදැවී ලකුණු 33ක් ද, දසුන් ලකුණු 12ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 9යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 12කට කඩුලු 2ක් ද, මිචෙල් ස්ටක් ලකුණු 27කට කඩුලු 2ක් ද, පැට් කමින්ස් ලකුණු 34කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලේ ඩේවිඩ් වෝනර්ගේ අර්ධ ශතකයෙක් සවිමත් වෙමින්.

පසුගිය තරග රැසකදීම අසාර්ථක වී සිටි වෝනර් මෙම ඉනිමේ දී පන්දු 42කින් ලකුණු 65ක් රැස් කළා.(4X10)

ඔහු ලකුණු 18ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.

වෝනර් හා ආරෝන් ෆින්ච් අතර පළමු කඩුල්ලට පන්දු 42කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 70ක්.

ෆින්ච් හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින් ලකුණු 37ක් රැස් කළ අතර, ග්ලේන් මැක්ස්වෙල් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

එම කඩුලු දෙකම දවා ගත්තේ වනිදු හසරංග විසින්. ඔහු සිය පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 22ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර දැඩි ප්‍රහාරයකට ලක් වුණා.

චමීර යොමු කළ පන්දුවාර 3 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 33ක් රැස් කළ අතර, කුමාර යොමු කළ පන්දුවාර 3 තුළ දි ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48ක්.

දසුන් ශානක එක් පන්දුවාරයක් පමණක් යවා ලකුණු 6කට එක් කඩුල්ලක් දවා ගත්තා.

Leave a comment