Ultimate magazine theme for WordPress.

වනිදුගේ 15/3 හා චාර්ල්ස්ගේ 76 යාපනය අවසන් තරගයට ගෙන යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පරදා ලකුණු 37ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව යාපනය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම ශක්තිමත් කළ ජොන්සන් චාර්ල්ස් පන්දු 56කින් ලකුණු 76ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 4ක් ද සමගින් ලකුණු 39ක් රැස් කළා.

චාර්ල්ස් ලකුණු නොලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් කසුන් රාජිත අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

වනිදු හසරංග ලකුණු 14ක් සහ චරිත් අසලංක ලකුණු 10ක් රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් දවා ගත් අතර, යාපනය ඉනිමේ දී දුවද්දී දැවී යාම් 4ක් ද වාර්තා වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

උපුල් තරංග ලකුණු 33ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 29ක් රැස් කළ අතර, රමේෂ් මෙන්ඩිස් පන්දු 10කින් වේගවත් ලකුණු 26ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තේ නිලකුණු පන්දුවාරයක් ද සමගින්.

ඔවුන්ගේ ඉනිමේ ද දුවද්දී දැවී යාම් 2ක් වාර්තා වූ අතර, එම අවස්ථා දෙකම උස්මාන් ශින්වාරි විසින් පන්දුව කෙළින්ම කඩුල්ලට වැදීමට සලස්වමින් දවා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇති.

එම තරගය එළඹෙන 16 වනදා රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment