Ultimate magazine theme for WordPress.

Watch : මාලිංගගෙන් වෙල්ලාලගේට අමතක නොවන සමරු සිහිවටනයක්

2022 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ මේ වන විට සමස්ථ ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක්ව ඇති තරුවක් බවට පත් වී අවසන්.

ඊයේ (24) දිනයේදී නිමා වූ තරග 5කින් යුත් ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය පුරාම පන්දුවෙන්, පන්දු රැකීමෙන් මෙන්ම පිතිකරණයෙන් ද සුවිශේෂී දක්ෂතා දැක්වීමට 19 හැවිරිදි මේ යොවුන් ක්‍රීඩකයා සමත් වුණා.

තරගාවලියේ ක්‍රීඩා කළ තරග 5 තුළ ඔහු කඩුලු 9 ක් බිඳ හෙලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් වීම විශේෂත්වයක්.

එක්දින වරම් දිනා ගත් තරගාවලියේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ශ්‍රී ලංකා දග පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර වනිදු හසරංග විසින් කඩුලු 8ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවා.

සිය මංගල ජාත්‍යන්තර තරගාවලියේ දී ම පළපුරුදු ක්‍රීඩකයකු ලෙස දුනිත් වෙල්ලාලගේ දැක් වූ දක්ෂතාවයන් හේතුවෙන් අදාළ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග විසින් අමතක නොවන සුවිශේෂී සිහිවටනයක් වෙල්ලාලගේට පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

එම සිහිවටනය වූයේ දුනිත් ක්‍රීඩා කළ මංගල ජාත්‍යන්තර තරගයේ දී ඔහු යවනු ලැබූ පන්දුවයි.

එම පන්දුවේ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුගේම අත්සන් සටහන් කර තිබීම ද විශේෂත්වයක්.

දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යොමු කළ පළමු පන්දුවට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච්ගේ අත්සන පළමුව ඊට යොදා තිබෙනවා.

එමෙන්ම දුනිත්ගේ මංගල ජාත්‍යන්තර කඩුල්ල බවට පත් වූ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ අත්සන ද එම පන්දුවේ සටහන් කර තිබීම කැපී පෙනෙනවා.

තවද දුනිත් පළමු ජාත්‍යන්තර පන්දුවාරය යොමු කරන අවස්ථාවේදී පිටියේ විනිසුරුවරයෙකු වූ 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික කුමාර් ධර්මසේන මහතාගේ අත්සන ද එම පන්දුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව එම තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ රවින්ද්‍ර විමලසිරි මහතාගේ අත්සන ද, දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනූ දිනය හා ක්‍රීඩාගණයේ නම ද එම පන්දුවේ සටහන් කර තිබෙනවා.

මේ අතර, සිය මංගල ජාත්‍යන්තර තරගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් තමාට සිහිවටනයක් ලෙස කඩුල්ලක් ලබා දුන් බවත්, එය තවමත් තමා සන්තකයේ පවතින බවත් මෙහිදී ලසිත් මාලිංග සදහන් කර සිටියා.

දර්ශන පහතින් –

Leave a comment