Ultimate magazine theme for WordPress.

පාකිස්තානයේ ඉල්ලීමට අයි.සී.සී හා ඉන්දියාව බෑ කියයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙන ක්‍රීඩාංගන වෙනස් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමක් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය එම පාර්ශව දෙක විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැතත්, තරග කාලසටහන පසුගියදා සියලු ක්‍රිකට් ආයතන වෙත යොමු කර තිබුණේ එම ආයතනවල අදහස් ලබා ගැනීම සදහායි.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබුණේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව චෙන්නායි හී දී පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත තරගයේත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව බැංගලූරු හී දී පැවැත්වීමට නියමිත තරගයේත් වෙනස්කම් සිදු කර දෙන ලෙසයි.

ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගය බැංගලූරු හී දී පැවැත්වීමටත්, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය චෙන්නායි හී දී පැවැත්වීමටත් කටයුතු කරන ලෙස පාකිස්තානය දැනුම් දී තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ දී එම තරග දෙක පැවැත්වෙන ක්‍රීඩාංගන වෙනස් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

ක්‍රීඩාංගන වෙනස් කිරීමක් සලකා බැලිය හැක්කේ ආරක්‍ෂක ගැටළු මත හෝ යම් ක්‍රීඩාංගනයක් ජාත්‍යන්තර තරග සඳහා නුසුදුසු යැයි සැලකෙන්නේ නම් පමණයි.

අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද වෙනත් ක්‍රීඩාංගනයකදී පැවැත්විය යුතු බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද එය ද සංශෝදනය කිරීමට අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර නොමැති බව සදහන්.

Leave a comment