Ultimate magazine theme for WordPress.

ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා ගාල්ල අවසන් තරගයට ගෙන යයි

ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කිරීමත් සමගයි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කොළඹ කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින්.

ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් (Daniel Bell-Drummond) ලකුණු 70ක් රැස් කළේ පන්දු 53කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ඉසුරු උදාන ලකුණු 19ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 11ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් කඩුලු 3ක් දවා ගත් අතර, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලිය පුරා ලකුණු අතරේ රැදී සිටි ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියා.

නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක්, ශෙහාන් ජයසූරිය ලකුණු 22ක් සහ අසාම් ඛාන් ලකුණු 21ක් රැස් කළා.

තරගයේ ජය දෙපිලටම දෝලනය වූ අවස්ථාවක කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු තම කර මතට ගත් ධනංජය ලක්ෂාන් පන්දු 23කින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ගාලු කණ්ඩාමට ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, එය පන්දු 5කින් සපුරා ගැනීමට ඔවුන් සමත් වුණේ ධනංජය ලක්ෂාන් එල්ල කළ හයේ පහරකින් සහ ලක්ෂාන් සදකැන් එල්ල කළ හතරේ  පහරකින් (දර්ශන පහතින්) සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ධනංජය ලක්ෂාන්.

තරගය තුළ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් යළි ආබාධයකට ලක්වනු ද දක්නට ලැබුණා.

ඒ අනුව හෙට(14) පැවැත්වෙන මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කරනු ඇති.

දෙවන අවසන් පූර්ව තරගය දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගය හෙට රාතී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

Leave a comment