Ultimate magazine theme for WordPress.

දග පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Match Report

ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ පිතිහරඹය මෙන්ම පන්දු යවන්නන් දැක් වූ සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර මෙරට වේලාවෙන් අද(6) අලුයම පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 43ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඇන්ටිගුවාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ලට ශතකයකට ආසන්න සබදතාවයක් ගොඩ නගමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

පළමු තරගයේ දී ධනුෂ්ක ගුණතිලක සමගින් නිරෝෂන් දික්වැල්ල ඉනිම ආරම්භ කළ නමුත්, මෙම තරගයේ දී ධනුෂ්ක සමගින් ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංකයි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 10.2ක් තුළ ලකුණු 95ක සබදතාවයක් ගොඩ ගැනූ අතර, පළමු කඩුල්ල ලෙස පැතුම් ලකුණු 37කට දැවී ගියා.

සිය තෙවැනි 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 42කින් ලකුණු 56ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

අනතුරුව ඉනිමේ මැද පෙල පිතිකරුවන් ඉතා අසාර්ථක පිතිහරඹයක නිරත වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 66ක් පමණයි.

අශේන් බණ්ඩාර ලකුණු 21ක් සහ වනිදු හසරංග නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිමට යම් සාර්ථක අවසානයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

ඉනිමේ පළමු පන්දුවාර 5ට කොදෙව් කණ්ඩායම ලකුණු 25ක් පමණක් ලබා ගත් නමුත්, පවර් ප්ලේ අවස්ථාවේ අවසන් පන්දුවාරය හෙවත් 6 වැනි පන්දුවාරයේ දී කොදෙව්වන් තිසර පෙරේරාට එරෙහිව ලකුණු 20ක් රැස් කළා.

කෙසේ වෙතත්, 7 වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ වනිදු හසරංග විසින් ක්‍රිස් ගේල් සහ ලෙන්ඩ්ල් සිමන්ස් යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා.

ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 21ක් සහ ක්‍රිස් ගේල් ලකුණු 16ක් රැස් කළා.

අනතුරුව මැද පෙල කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔබෙඩ් මැකෝයි පන්දු 7කින් ලකුණු 23යි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ලක්ෂාන් සදකැන් 10කට කඩුලු 3ක් දවා ගත්තා.

අකිල ධනංජය ලකුණු 13කට එක් කඩුල්ලක් බිද හෙලීමට සමත්වෙද්දී, දුෂ්මන්ත චමීර ලකුණු 26කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්.

තිසර පෙරේරා යොමු කළ පන්දුවාර 2 තුළ දී කොදෙව් පිතිකරුවන් ලකුණු 42ක් ලබා ගැනීම කැපී පෙනුණා.

  • පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක පිත්තෙන් දැක් වූ දක්ෂතා හා පන්දු යවන්නන්ගේ දක්ෂතා ඇතුළත් දෙවැනි 20යි 20 තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

Leave a comment