Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට ; ප්‍රසාද ලකුණු සටහන හා අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද(22) අලුයම නිමා වූ තරගාවලියේ 20 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 13 ක් ඉතිරිව තිබියදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Laura Wolvaardt නොදැවී ලකුණු 66 ක් ද, Tazmin Brits නොදැවී ලකුණු 50 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන ගියා.

ඒ අනුව මූලික වටය අවසන් වන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඔස්ට්‍රේලියාවටත්, දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවැනි ස්ථානය නවසීලන්තයටත්, සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමි වුණා. දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ශ්‍රී ලංකාව යන රටවල් තුනම තරග දෙක බැගින් ජය ගෙන තිබූ බැවින් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි ස්ථාන තීරණය කෙරුණේ.

දෙවැනි කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයටත්, දෙවැනි ස්ථානය ඉන්දියාවටත්, තෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ටත්, සිව්වැනි ස්ථානය පාකිස්තානයටත් හිමි වුණා. කිසිදු තරගයක් ජය නොගත් බංග්ලාදේශය හා අයර්ලන්තය පිළිවෙලින් පළමු හා දෙවැනි කාණ්ඩවල අවසන් ස්ථානයට පත් වුණා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(23) ආරම්භ වන අතර, පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා (24) එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය කේප් ටවුන් හී දී ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 6.30 ටයි.

Leave a comment