Ultimate magazine theme for WordPress.

පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක – Day 3 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව  273ක්.

හුදෙකලා සටනක නිරත වූ නායක අසාර් අලී නොදැවී ලකුණු 141ක් රැස් කළේ හතරේ පහර 21ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

මොහොමඩ් රිස්වාන් ලකුණු 53යි.

ඔවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ල සදහා ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ඔහු යැවූ පන්දු කිහිපයකදීම පිතිකරුවන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් එංගලන්ත පන්දු රකින්නන් අතින් ගිලිහී යාම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ඔහුට අගනා සහයක් ලබා දුන් ජොස් බට්ලර් ලකුණු 152ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පස් වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 359ක්.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සවුත්හැම්ටන් හී දී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය වන හෙට(24) දිනයේ දී පාකිස්තානය අඛණ්ඩව දෙවැනි වරටත් පන්දුවට පහරදීමට නියමිත අතර, ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් පාකිස්තානය ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 310ක්.

Leave a comment