Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු තරගාවලියේ ජය ඉන්දියාවට

තියුණු සටනකින් පසුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(28) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

පූනේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම ඉන්දීය සංචාරයේ දී එංගලන්තය ක්‍රීඩා කළ තරග 12න් තරග 10කදීම ඔවුන් කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනු සිදුවීමක් බවට ද පත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 329ක්.

රෝහිට් ෂර්මා ලකුණු 37ක් සහ ශිකර් දවාන් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 103ක සබදතාවයක් ගොඩ නගමින්.

විරාට් කෝලි සහ කේ.එල් රාහුල් ලකුණු 7 බැගින් ලබා සිටියදී දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත්, එම පීඩනය කිසිසේත් මායිම් නොකළ රිෂාබ් පාන්ට් සහ හර්ඩික් පාන්ඩ්යා 5 වන කඩුල්ලට පන්දු 73කින් ලකුණු 99ක් රැස් කිරීමට සමත් වුණා.

පාන්ට් ලකුණු 78ක් ලබා ගත් අතර, පාන්ඩ්යා ලකුණු 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 3ක් සහ අඩිල් රෂීඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 322ක් පමණයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් එංගලන්තය ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ සෑම් කරන් පන්දු 83කින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

සෑම් කරන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව අංක 8 හෝ ඉන් පහත ස්ථානයක පන්දුවට පහරදුන් පිතිකරුවෙකු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

අවසන් පන්දුවාර දෙක තුළ තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 19ක් පමණක් අවශ්‍යව තිබූ නමුත්, එය ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ දී ඉන්දීය පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම විශේෂත්වයක්.

ඩාවිඩ් මලාන් ලකුණු 50ක්, ලියම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 36ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 35ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 4ක් සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස එංගලන්තයේ සෑම් කරන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්තයේම ජොනී බෙයාර්ස්ටව්.

Leave a comment