Ultimate magazine theme for WordPress.

තවත් පාකිස්තාන ක්‍රීඩකයෙකුට නවසීලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි

නවසීලන්ත තරග සංචාරයට එක්ව සිටින තවත් පාකිස්තාන ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට නවසීලන්තයේ දී තහවුරු වී ඇති පාකිස්තාන ක්‍රීඩකයින් සංඛ්‍යාව 7 ක්.

වෛරසය ආසාදනය වූ නවතම ක්‍රීඩකයා පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මීට පෙර Sarfaraz Ahmed, Rohail Nazir, Naseem Shah, Mohammad Abbas, Abid Ali සහ Danish Aziz යන ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වී තිබූ බවටයි වාර්තා වුණේ.

පාකිස්තාන ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණීමට පෙර ලාහෝර් නුවර දී වෛද්‍ය පරීක්ෂණ 4කට යොමු කර තිබූ අතර, එහිදී කිසිදු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණේ නැහැ.

කෙසේවෙතත්, පසුගිය 24 වනදා නවසීලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ක්‍රීඩකයින් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

අදාළ ආසාදිතයින් මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බව සදහන්.

නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීම සදහා ලබා දී තිබූ අවසරය ද මෙම නවතම තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගත්තේ.

පාකිස්තාන ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණ මේ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටිය ද, නිරොධායනයේ නිරත වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ක්‍රීඩකයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවට ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි එක් වරක් හෝ උල්ලංඝනය කළහොත් පාකිස්තාන ක්‍රීඩකයින් සියලු දෙනා එරටින් පිටුවහල් කරන බවටයි නවසීලන්ත රජය අනතුරු ඇගවීමක් සිදු කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, පසුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්විමට නියමිතයි.

Leave a comment