Ultimate magazine theme for WordPress.

තරගයෙන් ඉවත් වූ ඩී කොක්ට වැඩ වරදින ලකුණු ; දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18 වන තරගය අද(26) පස්වරුවේ ඩුබායි හී දී ආරම්භ වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතරයි.

කෙසේ වෙතත්, මෙම තරගය සදහා දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ක්‍රීඩා නොකිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේ දී නායක ටෙම්බා බවුමා සදහන් කළේ පෞද්ගලික හේතුවක් නිසා ඩී කොක් මෙම තරගයට ක්‍රීඩා නොකරන බවයි.

නමුත් පසුව වාර්තා වුණේ ඩී කොක් විසින් වර්ගවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කරමින් මෙම තරගයෙන් ඉවත්ව ඇති බවයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද ඒ පිළිබද තහවුරු කිරීමක් සිදු කළා.

වර්ගවාදයට එරෙහි වන බවට දණ නමා සිදු කරන අභිනය සියලු ක්‍රීඩකයින් විසින් තරගය ආරම්භයට පෙර සිදු කළ යුතු බවට එරට ක්‍රිකට් ආයතනය අද තරගයට පෙර නියම කර තිබුණා.

මීට පෙර එය සියලු ක්‍රීඩකයින්ට අනිවාර්යය කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, මීට පෙර පැවැති තරගවලදී ද එලෙස දණ නැමීමේ අභිනය සිදු නොකළ ක්වෙන්ටන් ඩී කොක් අද තරගයේ දී ද එය සිදු කළ  නොහැකි බව පවසා කොදෙව්වන්ට එරෙහි තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් ලබා දෙන වාර්තාව මත පදනම්ව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

“ලෝක කුසලානයේ ඉතිරි තරඟ සඳහා සියලුම ක්‍රීඩකයින් මෙම නියෝගය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා” යනුවෙන් ද එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

Leave a comment