Ultimate magazine theme for WordPress.

ජයිස්වාල් හා අශ්වින්ගේ ප්‍රහාරය රාජස්ථානය අවසන් වටයේ පළමු තරගයට ගෙන යයි

Match Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) සිය ස්ථානය තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, මෙවර තරග වාරයේ 68 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

මෙම ජයත් සමග රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

ඒ, චෙන්නායි ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට මොයීන් අලී සමත් වූ පසුබිමකයි.

චෙන්නායි කණ්ඩායම පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව අවසන් කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා ගනිමින්.

අලී හා ඩෙවෝන් කොන්වේ අතර දෙවැනි කඩුල්ලට පන්දු 39කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 83ක්.

කොන්වේ ලකුණු 16කට දැවී ගියා. වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද, අනතුරුව චෙන්නායි මැදපෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබීම හේතුවෙන් චෙන්නායි පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදා වූයේ නැහැ.

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 26(28)ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මොයීන් අලී පන්දු 57ක් වැය කරමින් වේගවත් ලකුණු 93ක් ලබා ගත්තා. හයේ පහර 3කින් හා හතරේ පහර 13කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් හා ඔබෙඩ් මැකෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 59ක් වාර්තා කළා. පන්දු 44කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහරක් හා හතරේ 8ක් ඇතුළත්.

නායක සංජු සැම්සන් ලකුණු 15කට දැවී ගියා. සැම්සන් හා ජයිස්වාල් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 51(41)ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඔවුන්ගේ ඉනිමේ ද මැද පෙල යම් බිද වැටීමක් සිදු වූ නමුත්,  රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 40(23)ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් වටය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රශාන්ට් සොලන්කි කඩුලු 2ක් දවා ගත් අතර, සිමර්ජීට් සිං, මිචෙල් සැන්ට්නර් හා මොයීන් අලී එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අතර, ඔහු යොමු කළ පන්දුවාර 3.4 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 28ක් පමණයි.

මෙම පරාජයත් සමග චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග 14න් තරග 10ක්ම පරාජයට පත් වීම ද විශේෂත්වයක්.

අද තරගයෙන් ජය ගත් රාජස්ථාන් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම හෙට(21) දිනයේ දී තීරණය වනු ඇති. ඒ. දිල්ලි කැපිටල්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිපලය මතයි.

ඉන් දිල්ලි කණ්ඩායම ජය ගතහොත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගයෙන් ඔවුන් පරාජයට පත් වුවහොත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නේ.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ද මේ වන විටත් අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගෙන අවසන්.

Leave a comment