Ultimate magazine theme for WordPress.

ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි

Match Report

රුටුරාජ් ගයික්වඩ්ගේ සටන්කාමී හුදෙකලා පිතිහරඹය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 20කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර ආරම්භ කරමින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය සදහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිට් ෂර්මා හා හර්ඩික් පාන්ඩ්යා ක්‍රීඩා නොකළ අතර, වැඩබලන නායකයා ලෙස කටයුතු කළේ කිරන් පොලාඩ්.

ජස්ප්‍රිට් බුම්රා මුම්බායි පිල වෙනුවෙන් ක්‍රීඩා කළ 100 වැනි තරගය ද මෙම තරගය වීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහර දීමට එම්.එස් දෝනි ගත් තීරණයට එතරම් සාර්ථක දායකත්වයක් පිතිකරුවන් රැසකගෙන් ලැබුණේ නැහැ.

ඔවුන්ගේ 4 වන කඩුල්ල ලකුණු 24 දී දැවී ගිය අතර, ඒ වන විටත් අම්බටි රයිදු (0) ද ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්වීමටයි පියවර ගෙන තිබුණේ.

ෆෆ් ඩු ප්ලෙසිස් හා මොයීන් අලී ලකුණු නොලබා දැවී යද්දී සුරේෂ් රයිනා ලකුණු 4කට දැවී ගියා. නායක දෝනි රැස් කළේ ලකුණු 3ක් පමණයි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් ලබා ගත් අතර, ඩ්වේයන් බ්‍රාවෝ පන්දු 8කින් වේගවත් ලකුණු 23ක් රැස් කළේ හයේ පහර 3ක් සමගින්.

පිටියට පිවිසෙන සියලු පිතිකරුවන් අනෙක් අන්තයෙන් දැවී යද්දී සුපිරි ඉනිමක් දියත් කළ රුටුරාජ් ගයික්වඩ් පන්දු 58කින් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් සිය ඉනිමට එක් කරමින්.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ඇඩම් මිල්න් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිතිකරුවන්ට ස්ථාවර වීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි ප්‍රතිපලය වූයේ මුම්බායි ඉනිම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 136කට සීමා වීමයි.

ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ සෞරාබ් තිවාරි පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 3ක් හා දීපක් චහාර් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සිය කණ්ඩායමට නොතිබූ ජයග්‍රහනයක් අත්කර දීම සදහා චෙන්නායි ඉනිම රැගෙන ගිය රුටුරාජ් ගයික්වඩ්.

Leave a comment