Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට 60%ක දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායමට නියමිත කාලය තුළ පන්දුවාර 3ක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 60%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයකදී පන්දු යවන කණ්ඩායම පවත්වා ගත යුතු පන්දුවාර යැවීමේ වේගය පැයක කාලයකට සටහන් විය යුත්තේ පන්දුවාර 15ක් ලෙසයි.

තරගයකදී නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සදහා ම අදාළ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ පැනවීමක් සිදු කෙරෙනවා.

මේ අතර, මෙම වරද හේතුවෙන් දඩ පැනවීමට අමතරව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට දඩුවම් ලකුණු 6ක් පැනවීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව්වන්ට හිමිව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 6ක් කපා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

නායක බ්‍රැත්වෙයිට් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment