Ultimate magazine theme for WordPress.

කෙටි කාලීන – දීර්ඝ කාලීන එකම ඉලක්කය ලෝක කුසලානයක් ජය ගැනීමයි : පාන්ඩ්යා

සිය මීළග ප්‍රධාන ඉලක්කය ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා පවසනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ගුජරාට් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියක් සදහා මෙවර ක්‍රීඩා කළේ පළමු වරටයි.

මංගල තරගාවලියේ දී ම පාන්ඩ්යාගේ නායකත්වය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගත්තේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

අවසන් තරගයේ දී පන්දු යැවීමෙන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් හර්ඩික් පාන්ඩ්යා, පිතිකරණයේ දී ලකුණු 34ක් රැස් කිරීමට ද සමත් වුණේ සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කරමින්.

පාන්ඩ්යා අයි.පී.එල් ශූරතාවයක් දිනූ 5 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

“මීට කලින් මම දිනපු ශූරතා හතරත් එක වගේම විශේෂයි. IPL ජයග්‍රහණය කිරීම සැමවිටම විශේෂ දෙයක්. අවසන් තරග (අයි.පී.එල්) 5ක් ක්‍රීඩා කිරීමට ලැබීම වගේම පස් වතාවක් ශූරතාවය දිනා ගැනීමට ලැබීම ගැන බලනකොට මම හිතනවා මම ඉතාමත් වාසනාවන්තයි” යනුවෙන් හර්ඩික් පාන්ඩ්යා සදහන් කළා.

“නිසැකවම මෙය උරුමයක් ඉතිරි කරාවි, මොකද අපි අලුත් කණ්ඩායමක්, පළමු වරට ක්‍රීඩා කළේ, ඒ වගේම අපි පළමු තරග වාරයේම ශූරයින්. නමුත් මීට පෙර මා දිනූ ශූරතා හතරම එක හා සමානව විශේෂයි.”

කෙසේ වෙතත්, හර්ඩික් පාන්ඩ්යා පෙන්වා දෙන්නේ තම කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණ වන්නේ ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බවයි.

Leave a comment