Ultimate magazine theme for WordPress.

එංගලන්තයට තවත් නරක ආරංචියක් ; ක්‍රීඩකයින්ට 100% ක දඩයක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) තීරණය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග අද(11) නිමා වූ පළමු අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්තය පන්දුවාර යැවීම සදහා වැඩි කාලයක් ලබා ගෙන තිබීම හේතුවෙන්.

නියමිත කාලය අවසන් වන විට ඔවුන් පන්දුවාර 5ක් පිටුපසින් සිට ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අයි.සී.සී නීති රීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබනවා.

ඒ අනුවයි එංගලන්ත ක්‍රීඩකයින්ට 100%ක දඩ මුදලක් පැනවීමට තරග තීරක ඩේවිඩ් බූන් පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු 5ක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අවසන් වන විට එංගලන්තය ප්‍රසාද ලකුණු 14කට හිමිකම් කියනු ලැබුව ද, ලකුණු 5ක් කපා හැරීමට ගත් තීරණයත් සමග ඔවුන්ට මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 9ක් පමණයි.

ඒ අනුව ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ද 23.33% සිට 15% දක්වා පහත වැටී ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 6 වැනි ස්ථානයේ පසු වූ එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Leave a comment