Ultimate magazine theme for WordPress.

උතාපා – ගයික්වඩ් සබදතාවය හා දෝනිගේ ප්‍රහාරය චෙන්නායි 9 වැනි වරටත් අවසන් තරගයට ගෙන යයි

Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සදහා 9 වැනි වරටත් සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම ලබන 15 වනදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර, අද තරගයෙන් පරාජයට පත් වූ දිල්ලි කණ්ඩායම ලබන 13 වනදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඩුබායිහි පැවැති  තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි පිල කඩුලු 5ක් දැවී ලකුණු 172ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 36ක්. ශිකර් ධවාන් ලකුණු 7කට දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 1යි. අක්සාර් පටෙල් ලකුණු 10කට දැවී ගිය අතර, විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ප්‍රිත්වි ෂෝ පන්දු 34කින් ලකුණු 60ක් රැස් කළා. ප්‍රිත්විගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 80 දී දැවී යාමෙන් පසුව පිටියේ එක් වූ නායක රිෂාබ් පාන්ට් හා ෂිම්රන් හෙට්මයර් 5 වන කඩුල්ලට ලකුණු 83(50)ක සබදතාවයක් ගොඩ නැගුවා.

හෙට්මයර් පන්දු 24කින් ලකුණු 37යි. පාන්ට් පන්දු 35කින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 3කට සීමා කරමින් ෆෆ් ඩු ප්ලෙසිස් එක් ලකුණකට දවා ගැනීමට අන්රිච් නොකියා සමත් වුණා.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 77කින් ලකුණු 110ක සබදතාවයක් ගොඩ නැගීමට රුටුරාජ් ගයික්වඩ් හා රොබින් උතාපා සමත් වීම විශේෂත්වයක්.

උතාපා පන්දු 44කින් ලකුණු 63ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් එම ඉනිමට ඇතුළත්.

අනතුරුව ශර්දුල් තාකූර් ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගියා. අම්බටි රයිදු එක් ලකුණකට දුවද්දී දැවී ගියා.

ආරම්භක පිතිකරු ගයික්වඩ් ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 50කින්. හයේ පහර 2කින් හා හතරේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මොයීන් අලී ලකුණු 16යි. මහේන්ද්‍ර සිං දෝනි පන්දු 6කින් වේගවත් ලකුණු 18ක් නොදැවී වාර්තා කරමින් තරගයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමි කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 3ක් ඇතුළත්.

ටොම් කරන් යොමු කළ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට චෙන්නායි පිලට ලකුණු 13ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවටයි මොයීන් අලී දැවී ගියේ.

කෙසේ වෙතත්, අනතුරුව යොමු කෙරුණු පන්දු 2කට හතරේ පහර දෙකක් එල්ල කිරීමට දෝනි සමත් වුණා. සිව්වන පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, ඉන් පසුව යැවූ පන්දුව ද හතරේ සීමාවට එල්ල කළ දෝනි චෙන්නායි කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ටොම් කරන් ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

කාගිසෝ රබාඩාට තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදී අවසන් පන්දුවාරය ටොම් කරන්ට යොමු කිරීමට ලබා දීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ කරුණක්.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ රුටුරාජ් ගයික්වඩ්.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) හෙට(11) සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 13 වනදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය සදහා දිල්ලි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment