Ultimate magazine theme for WordPress.

ඉන්දියාව “Soft signal” කපා හරියි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නීති කිහිපයක් සංශෝදනය කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දැවී යාමක් පිළිබද තීරණයක් ලබා දීම සදහා තෙවන විනිසුරුට යොමු කිරීමේ දී පිටියේ විනිසුරුවන් විසින් ලබා දෙන “Soft signal” හෙවත් අදාළ සිදුවීම පිළිබද පිටියේ විනිසුරුවන්ගේ මතය (දැවීයාමක්ද? නැද්ද? යන්න පිළිබද) මින් ඉදිරියට අයි.පී.එල් තරගාවලිය සදහා වලංගු නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තෙවන විනිසුරුට පිටියේ විනිසුරුවන්ගේ මතය පිළිබද සැලකීමක් නොදක්වමින් සිය තීරණය ස්වාධීනව ලබා දීමේ හැකියාව ඉදිරියේ දී උදා වනු ඇති.

නිමා වූ ඉන්දු – එංගලන්ත 20යි 20 තරගාවලියේ දී මේ පිළිබද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ ඩාවිඩ් මලාන් රැක ගත් උඩ පන්දුවක් සමබන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

එය නිවැරැදි අයුරින් රැකගත්තේ ද යන්න තීරණය කිරීම සදහා පිටියේ විනිසුරුවන් විසින් එය තෙවන විනිසුරුට යොමු කළ අතර, එහිදී පිටියේ විනිසුරුවන් සිය මතය (Soft signal) ඉදිරිපත් කර සිටියේ අදාළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත් බවටයි.

ඒ අනුව එවැනි අවස්ථාවක අදාළ උඩ පන්දුව නිසි අයුරින් රැක නොගත් උඩ පන්දුවක් ලෙස තෙවන විනිසුරු නම් කිරීමටනම් ඒ සදහා පැහැදිලි සාධක අවශ්‍ය වනවා.

පැහැදිලි සාධක නොමැතිනම් එවැනි අවස්ථාවක තෙවන විනිසුරු විසින් පිටියේ විනිසුරුවන්ගේ තීරණය අවසන් තීරණය ලෙස ප්‍රකාශ කිරීම මේ වන විට ජාත්‍යන්තර පිටියේ පවතින ක්‍රමවේදයයි.

කෙසේ වෙතත්, අදාළ උඩ පන්දුව නිසි ලෙස රැක නොගත් බවට පුනරූපනවලින් පෙනී ගිය ද, එය දැවී යාමක් ලෙස තෙවන විනිසුරු තීරණය කරනු ලැබුවේ පිටියේ විනිසුරුවන්ගේ මතය අභියෝගයට ලක්කරමින් එය දැවීයාමක් නොවන බවට ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් සාධක තෙවන විනිසුරුට සොයා ගත නොහැකි වීම පදනම් කර ගනිමින්.

මෙම අර්බුදයට විසදුමක් වශයෙනුයි අයි.පී.එල් සංවිධායකයින් විසින් පිටියේ විනිසුරුට මතයක් ලබා දීමේ අවස්ථාව අවලංගු කිරීමට මේ වන විට තීරණය කර ඇත්තේ.

මේ අතර, පිතිකරුවන් කඩුලු අතර දිවයාමේ දී පිතිකරුවන් විසින් සීමා ඉර නිසි පරිදි සලකුණු නොකර ඊළග ලකුණ කරා දිව යන අවස්ථාවක් විනිසුරු විසින් නිරීක්ෂණය කළහොත්, එවැනි අවස්ථාවක අවසන් තීරණය ලබා දීමේ බලය ද තෙවන විනිසුරුට පැවරීමට අයි.පී.එල් සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිටියේ විනිසුරු එවැනි අවස්ථාවක අසම්පූර්ණ ලකුණක් ලබා ගත් බවට තීරණය කළහොත් එය නිවැරැදි නොවන්නේනම් අදාළ තීරණය සංශෝදනය කිරීමේ බලය ද තෙවැනි විනිසුරුට ඉදිරියේ දී හිමි වනු ඇති.

අයි.පී.එල් සංවිධායකයින් මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය තරග වාරයේ දී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එවැනි ආකාරයේ අසම්පූර්ණ ලකුණක් ලබා ගත් බවට පිටියේ විනිසුරු විසින් ලබා දුන් වැරැදි තීරණය හේතුවෙන්.

එම තීරණය නිසා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අදාළ තරගය පරාජයට පත්වීමට ද පන්ජාබ් කණ්ඩායමට සිදු වුණා.

Leave a comment